මහජන බැංකුව පළමු කාර්තුවට රු.බි. 16.6ක බදු පෙර ලාභයක්
මහජන බැංකුව, භූ දේශපාලනික ගැටුම්කාරී තත්ත්වයන් සහ අඛණ්ඩ ගෝලීය ආර්ථික අර්බුදකාරී තත්ත්වයන් මධ්‍යයේ වුවද නොසැලෙමින් සිය ස්ථාවරත්වය මනාව පවත්වා ගනිමින් 2026 මාර්තු 31 වැනි දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා ශක්තිමත් සහ මනාව ඔරොත්තු දෙන මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කිරීමට සමත්ව තිබේ.
මහජන බැංකුව මෙම කාලය තුළ රු.බිලියන 16.6ක ඒකල බදු පෙර ලාභයක් (PBT) වාර්තා කළ අතර, ඒ තුළින් එහි මනා පදනම, විචක්ෂණශීලී ශේෂ පත්‍ර කළමනාකරණය සහ විනයගරුක අවදානම් කළමනාකරණ භාවිතයන්හි ශක්තිය මනාව පිළිබිඹු කර ඇත.
මහජන බැංකුවේ මෙම මෙහෙයුම් කාර්ය සාධනය සඳහා මූලික ආදායම් ප්රවාහයන් හරහා අත්කරගත් අඛණ්ඩ වර්ධනය හේතු වී තිබේ. පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ රු.බිලියන 40.7ට සාපේක්ෂව මුළු මෙහෙයුම් ආදායම 13.2%කින් ඉහළ ගිය අතර, එය රු.බිලියන 46.1 දක්වා වර්ධනය වී ඇත. ශුද්ධ පොලී ආදායම රු.බිලියන 34.1 සිට රු.බිලියන 40.1 දක්වා 17.5%කින් වර්ධනය වී ඇත. ඵලදායී ප්‍රතිමිලකරණ උපාය මාර්ග සහ විනයගරුක වත්කම් හා වගකීම් කළමනාකරණය හේතුවෙන් ශුද්ධ පොලී ආන්තිකය (NIM) 4.1% සිට 4.3% දක්වා ඉහළ ගිය අතර, වැඩිදියුණු කළ ආන්තික ප්‍රසාරණය මෙම කාර්ය සාධනය සඳහා තවදුරටත් සහාය වී තිබේ.
බැංකුවේ ශේෂ පත්‍රයේ අඛණ්ඩ ස්ථාවර ප්‍රසාරණය සහ මූල්‍ය ස්ථාවරත්වය පෙන්නුම් කරමින්,වත්කම් රු.ට්‍රිලියන 3.8 දක්වාත්, ගනුදෙනුකාර තැන්පතු රු.ට්‍රිලියන 3.3 දක්වාත්, ශුද්ධ ණය සහ අත්තිකාරම් රු.ට්‍රිලියන 1.8 දක්වාත් වර්ධනය වී ඇත. මෙම කාර්තුව තුළ, ශ්‍රී ලංකාවේ විශාලතම Basel III, Tier 2, ණයකර නිකුතුව සාර්ථකව නිම කිරීම හරහා බැංකුව සිය ප්‍රාග්ධන තත්ත්වය තවදුරටත් ශක්තිමත් කරගෙන ඇත. එමඟින් රු.බිලියන 25ක් රැස් කර ගත් අතර, බැංකුවේ දිගුකාලීන ස්ථාවරත්වය සහ මූල්‍ය ශක්තිය කෙරෙහි ආයෝජකයන්ගේ ඇති විශ්වාසය මින් මනාව පිළිබිඹු වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

