දිත්වා බලපෑමට ලක් වූ පවුල් 4,000කට IOM මූල්‍ය සහායක්
2025 වසරේ දිත්වා සුළි කුණාටුව නිසා ඇති වූ විනාශකාරී බලපෑම්වලින් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වෙමින් පවතින අවස්ථාවේ, සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් දිස්ත්‍රික්ක 7ක බලපෑමට ලක් වූ පවුල් සඳහා මූල්‍ය සහාය ලබාදී තිබේ.
එක්සත් ජාතින්ගේ මධ්‍යම හදිසි ප්‍රතිචාර අරමුදලේ මූල්‍ය අනුග්‍රහයෙන්ද, ශ්‍රී ලංකා රජයේ සහ ශ්‍රී ලංකා රතුකුරුස සංගමය සමග සහයෝගීතාවයෙන්ද ක්‍රියාත්මක කෙරුණු මෙම මූල්‍ය සහාය වැඩසටහනේ නිමාව සනිටුහන් කිරීම පුත්තලමේ පැවති සමාප්ත උළෙලේදී සිදුකරන ලදී. මෙම වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්ක නියෝජිතයන්ගේද, සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්ගේ, ප්රජානායකයන්ගේ හා ප්‍රජාවගේ සහභාගිත්වයෙන් සිදුවිය
මෙම මූල්‍ය සහාය පුත්තලම, බදුල්ල, යාපනය, මඩකළපුව, නුවරඑළිය, කෑගල්ල සහ නුවර යන දිස්ත්‍රික්කවල පවුල් 4,000 කට අධික ප්‍රමාණයකට ලබාදෙන ලදී. ඒ අනුව තෝරා ගැනීමේ නිර්ණායකවලට අනුකූලව නිවාස පිළිසකර කර ගැනීමට සහ අත්‍යවශ්‍ය ගෘහස්ථ භාණ්ඩ මිලදී ගැනීම සඳහා මූල්‍ය සහාය ලබා දෙනු ලැබිණ. ප්‍රදේශ 60 ක ආපදාවට මුහුණ දුන් පවුල් 4,700ක් වෙත ආහාර නොවන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ද, තවත් පවුල් සඳහා මූල්‍ය සහාය ද ලබා දෙන ලද්දේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම යටතේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්රෲ ෆ්‍රොන්සේ පවසා සිටියේ මෙම මූල්‍ය සහාය වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම යටතේ ක්‍රියාත්මක වන බහු අංශීය ප්‍රතිචාර ක්‍රියාමාර්ගවල එක් වැදගත් අංගයක් බවයි. මේ හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි හවුල්කරුවන් වාසස්ථාන, ආහාර සුරක්ෂිතතාවය, සෞඛ්‍ය සහ අනෙකුත් ක්ෂේත්‍ර රැසක් යථා තත්ත්වයට පත්කිරීමට සහයෝගය ලබාදෙන බව ඔහු පවසන ලදී. තවදුරටත් කරුණු දැක්වූ ඔහු පවසා සිටියේ දේශගුණික විපර්යාස ආශ්රිත අවදානම් තත්ත්වයන්ගේ තීව්‍රතාවය වැඩිවෙමින් පවතින මෙම කාලයේදී, ජීවිත ආරක්ෂා කිරීම සහ ප්රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බවයි.
පසුගිය වසරේ නොවැම්බර් 28 වැනි දින දිවයිනට ළඟා වූ දිත්වා සුළි කුණාටුව, පසුගිය දශක දෙක ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ජලගැලීම් හා නාය යෑම් තත්වයයි. මෙම ව්‍යසනය හේතුවෙන් දිස්ත්‍රික්ක 25 හි මිලියන 2.2 ආසන්න පිරිසකගේ නිවාස වලට හානි සිදුවූ අතර ආරක්ෂාව උදෙසා ඔවුන්ව සුරක්ෂිත මධ්‍යස්ථාන වලට යොමු කෙරිණි. සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ සංචරණ නිරීක්ශණ මෙවලමට අනුව ආපදාවේ උච්චතම අවස්ථාවේදී 290,000කට ආසන්න පිරිසක් අවතැන් වී ඇත.
මෙම ව්‍යසනයට ප්‍රතිචාර ලෙස සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කරමින්, බලපෑමට ලක් වූ පවුල් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කඩිනමින් බෙදා දෙන ලදී. එමෙන්ම ජනතාවගේ අවතැන් වීම් කාලීනව නිරීක්ෂණය කිරීම සඳහා සංචරණ නිරීක්ශණ මෙවලම යොදාගත් අතර, සංක්‍රාන්තික වාසස්ථාන ඉදිකිරීමට සහාය ලබාදීම මේ වනවිට සිදුකරමින් පවතී.තවද සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය,අන්තර්ජාතික රතු කුරුස සහ අඩ සඳ සංවිධානය සමග වාසස්ථාන, ඉඩම් හා ස්ථානීය සම්බන්ධීකරණ ව්‍යූහයේ සම - නායකත්වය දරනු ලබයි.
“බලපෑමට ලක් වූ පවුල්වල හදිසි අවශ්‍යතා සපුරාලීමට සහාය වීමට හැකිවීම පිළිබඳව සතුටු වෙනවා,” යැයි සංක්‍රමණය සඳහා ජාත්‍යන්තර ආයතනයේ ශ්‍රී ලංකා හා මාලදිවයිනේ ප්‍රධානී ක්‍රිස්ටින් පාර්කෝ සඳහන් කළාය. "මෙම සහාය මගින් පවුල් වලට තම නිවාස හා ජීවිතය යළි ගොඩනඟා ගැනීමේදී, තම තමන්ගේ ප්‍රමුඛතාවය අනුව වියදම් කිරීමට අවශ්‍ය නම්‍යශීලීතාවය ලබාදීම සිදු කෙරෙනවා" යැයි ඇය තවදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාව ට බලපාන දේශගුණික විපර්යාස ආශ්රිත අවදානම් තත්ත්වයන් හි තීව්‍රතාවය වැඩිවන මෙම කාලවකවානුවේදී, ප්රජාවන්ගේ ආපදාවන්ට ප්‍රතිචාර දැක්වීමේත්, ඉන් පසුව යථා තත්ත්වයට පත්වීමතේ හැකියාව හා පෙර සූදානම ශක්තිමත් කිරීමට සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය අඛන්ඩව කැප වී සිටී.
අනාගත ආපදාවන් ඇතිවීමේ අවදානම අඩුකිරීමටත්, දත්ත පාදක ප්‍රතිචාර ක්‍රම ඉහල නැංවීමටත්, ප්‍රජාවන් තුළ එවන් ආපදාවන්ට මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීමටත් ශ්‍රී ලංකා රජය සමඟ එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය බලාපොරොත්තු වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

