ලංකාවේ තේ කර්මාන්තය පුරාම වැට් (VAT) බද්ද සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතතාවක් හටගෙන තිබේ. 2025 ඔක්තෝබර් 01 දින සිට SVAT (Suspended VAT) ක්‍රමය අහෝසි වීමත් සමඟ ඇතිවන ගැටළු, විශේෂයෙන්ම මුදල් ප්රවාහයේ (Cash Flow) අර්බුද සහ තේ මිල පහත වැටීමේ අවදානම හේතුවෙන් සමස්ත තේ සැපයුම් දාමයම දැඩි කනස්සල්ලට පත්ව ඇත.
කොළඹ තේ වෙන්දේසියේදී සතියකට සාමාන්‍යයෙන් තේ කිලෝග්‍රෑම් මිලියන 5ත් 6ත් අතර ප්‍රමාණයක් අලෙවි වේ. පවතින සාමාන්‍ය වෙන්දේසි මිල ගණන් අනුව, තේ අලෙවිය සඳහා පැනවෙන 18%ක වැට් බද්ද මාසිකව රුපියල් බිලියන 4ක් පමණ වේ. ගෝලීය තේ වෙළෙඳපොළේ පවතින දැඩි තරගකාරිත්වය නිසා, බොහෝ තේ අපනයන සමාගම් ක්‍රියාත්මක වන්නේ ඉතා අඩු ලාභ ආන්තිකය මතයි.
මේ නිසා, වැට් බද්ද පැනවීමෙන් ඇතිවන අමතර මුදල් අවශ්‍යතා පියවා ගැනීමට ඔවුන්ට බැංකු ණය වෙත යොමුවීමට සිදුවනු ඇත. මෙම අමතර බැංකු ණය සඳහා ගෙවීමට සිදුවන පොලී පිරිවැය මාසිකව රු.මිලියන 480ක් හෙවත් වසරකට රු.මිලියන 5,760ක් (කෝටි 576ක්) පමණ වෙතැයි ඇස්තමේන්තු කර තිබේ.
ගෝලීය වශයෙන් තේ වෙළෙඳපොළේ පවතින තරගකාරී තත්ත්වය හමුවේ මෙම වැට් බදු වගකීම විදේශීය ගැනුම්කරුවන් වෙත පැවරීමට නොහැකි වන බැවින්, අපනයනකරුවන්ට සිදුවන්නේ එය සැපයුම් දාමයේ පහළට, එනම් වෙන්දේසි මිල වෙත යොමු කිරීමටයි. මේ හේතුවෙන්, තේ වෙන්දේසි මිල කිලෝග්රෑමයකට රුපියල් 20.00කින් පමණ පහළ යනු ඇතැයි ගණන් බලා තිබේ. මෙය, තේ නිෂ්පාදකයන්ගේ, විශේෂයෙන්ම තේ වතු හිමි කුඩා තේ ගොවීන් 480,000කට අධික සංඛ්‍යාවේ ආදායමට සෘණාත්මක ලෙස බලපානු ඇත.
SVAT ක්‍රමය අහෝසි කිරීමේ රජයේ ප්‍රතිපත්තිමය තීරණයට අපනයනකරුවන් ගරු කරන නමුත්, දින 45ක් ඇතුළත වැට් ආපසු ගෙවීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) යෝජනා කරන "අවදානම් මත පදනම් වූ" (Risk Based) යාන්ත්‍රණය පිළිබඳව ඔවුන්ට පැහැදිලිතාවයක් හා විනිවිදභාවයක් නොමැත. අපනයන සමාගම්වලින් අවදානම අඩු සහ මධ්‍යස්ථ ලෙස වර්ගීකරණය කර ඇති සමාගම්වලට පමණක් දින 45 තුළ මුදල් ආපසු ගෙවීමක් සඳහා සුදුසුකම් ලැබෙනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
තේ අපනයනකරුවන්ගේ සංගමය (TEA) මේ සම්බන්ධයෙන් පවතින ක්‍රමය තේරුම් ගැනීමට තේ අපනයන සමාගම් 10-15ක් නියමු ව්‍යාපෘතියට ඇතුළත් කරන ලෙස කිහිප වතාවක්ම ඉල්ලීම් කළද, එවැනි අවස්ථාවක් මෙතෙක් ලැබී නැත. අපනයනවලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති සමාගම්වලට පමණක් මාසය අවසානයේදී වැට් ආපසු ගෙවීම් සඳහා අයදුම් කිරීමට හැකිවන අතර, තාක්ෂණික වශයෙන් අපනයනකරුවෙකු වැට් ගෙවූ දින සිට ආපසු ගෙවීමක් ලැබීමට දින 75ත් 90ත් අතර කාලයක් ගත වනු ඇත.
ඕනෑම මොහොතක, තේ අපනයන සමාගම්වලට හිමි රුපියල් බිලියන 10-12ත් අතර වැට් මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතුව රැඳී තිබෙනු ඇති අතර, එය තේ අපනයන සමාගම්වල මූල්‍ය තත්ත්වයට අහිතකර ලෙස බලපානු ඇත. 2015-2025 කාලය සඳහා තේ අපනයන සමාගම්වලට හිමි ගෙවීමට ඇති වැට් මුදල් රු.බිලියන 1.3කට වඩා වැඩි බැවින්, දින 45ක් ඇතුළත වැට් මුදල් ආපසු ගෙවීමට IRD හට ඇති හැකියාව පිළිබඳව අපනයනකරුවෝ දැඩි සැකයෙන් පසුවේ.
වර්තමානයේදී, සතිපතා තේ වෙන්දේසියේදී තේ අපනයන සමාගම් 200කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක වන අතර, එය තේ නිෂ්පාදකයන්ට හොඳම මිලක් සහතික කරන දැඩි තරගකාරී ඉල්ලුමක් සහිත පරිසරයක් නිර්මාණය කර ඇත. මේ හේතුවෙන්, ශ්‍රී ලංකා තේ සඳහා කෙන්යාව සහ ඉන්දියාව වැනි රටවල තේවලට වඩා කිලෝග්රෑමයකට ඩොලර් 1.00-1.50ක පමණ අමතර වටිනාකමක් (Premium) ලැබේ.
රටේ වාර්ෂික තේ අපනයන පරිමාවෙන් 20%ක් පමණ දායක වන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) කාණ්ඩයේ තේ අපනයන සමාගම් මගිනි. අමතර මුදල් ප්‍රවාහ අවශ්‍යතාව නිසා ඔවුන්ගේ මෙහෙයුම්වලට බරපතළ ලෙස බලපෑම් එල්ල විය හැකිය. මෙම SME කාණ්ඩය වෙන්දේසි පද්ධතියෙන් ඉවත් වුවහොත්, ඉල්ලුම අඩු වී තේ මිල තවදුරටත් පහත වැටෙනු ඇත.
කුඩා තේ ගොවියාගේ ජීවන තත්ත්වය අවදානමේ!
කුඩා තේ ගොවීන්ගෙන් 50%කට වැඩි ප්‍රමාණයකට අක්කර භාගයකටත් වඩා අඩු ඉඩම් ප්‍රමාණයක් හිමිය. ඔවුන් හරිත තේ දලු සැපයීමෙන් මාසිකව රු.25,000/-ක පමණ ආදායමක් උපයති. තේ කර්මාන්තයට වැට් බද්ද බලපෑමෙන් අපනයනකරුවන්ට සිදුවන රු.මිලියන 5,760ක අමතර මූල්‍ය පිරිවැය ඔවුන්ට දරා ගැනීමට සිදුවුවහොත්, ඔවුන්ගේ ආදායම තවදුරටත් පහත වැටෙනු ඇති අතර, එය තේ ගොවීන් 480,000කගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වයට දැඩි ලෙස බලපානු ඇත.
තේ යනු 93%ක අපනයන අනුපාතයක් සහිත ශ්‍රී ලංකාවේ එකම කෘෂිකාර්මික නිෂ්පාදනයයි. දේශීය විකුණුම් සමස්ත නිෂ්පාදනයෙන් 7%ක් පමණ වේ. තේ අලෙවිය ඉලෙක්ට්‍රොනික වේදිකාවක් (E-platform) හරහා සිදුවන බැවින්, සියලුම දේශීය තේ ගැනුම්කරුවන් 18%ක වැට් බද්ද ගෙවන අතර, එමඟින් රජයට කිසිදු ආදායම් අලාභයක් සිදු නොවේ. කෙසේ වෙතත්, වෙනත් සියලුම කෘෂිකාර්මික නිෂ්පාදන වැට් බද්දෙන් නිදහස් කර තිබියදී, තේ මිලදී ගැනීම්වලට පමණක් 18%ක වැට් බද්දක් පැනවීම විශේෂිතය. ඉන්දියාව සහ කෙන්යාව යන රටවල් දෙකම 2023 වසරේදී තේ අපනයනය සඳහා වැට් බද්ද ඉවත් කර ඇති බව මෙහිදී සඳහන් කිරීම වැදගත්ය.
තේ අපනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ, මෙම වැදගත් අංශය වැට් බද්දෙන් නිදහස් කිරීමට නොහැකි නම්, ඩිජිටල්කරණය කළ පද්ධතියක් භාවිතා කර වඩාත් ශක්තිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර, එක් මසක් ඇතුළත වැට් මුදල් ආපසු ගෙවීම සහතික කරන ලෙසයි. එමඟින් කර්මාන්තයට සිදුවන අහිතකර බලපෑම අවම කරගත හැකි වනු ඇත.