කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹීම ප්‍රමාද වේ - හේතුව තාක්ෂණික දෝෂයක්
කොළඹ කොටස් වෙළෙඳපොළේ අද (ජූලි 01) දින සාමාන්‍ය ගනුදෙනු කටයුතු (Regular Trading) ආරම්භ කිරීම නියමිත වේලාවට වඩා ප්‍රමාද වූ අතර, එය පෙරවරු 11.00 දක්වා දීර්ඝ කිරීමට සිදුවූ බව මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) නිවේදනය කරයි. වසර 15කට වඩා වැඩි කාලයක් අක්‍රියව පැවති ගිණුම් අත්හිටුවීමට යාමේදී සිදු වූ තාක්ෂණික දෝෂයක් මීට හේතු වී ඇත.
මධ්‍යම තැන්පතු ක්‍රමය (පෞද්ගලික) සමාගම (CDS) විසින් 2026 ජූනි 15 දිනැති අංක 02-06-2026 දරන CDS චක්‍රලේඛයට අනුව, වසර 15කට වඩා වැඩි කාලයක් අක්‍රියව පැවති CDS ගිණුම් 2026 ජූනි 30 වැනි දින අත්හිටුවීමට පියවර ගන්නා ලදී.
ඉහත සඳහන් කළ ගිණුම් අත්හිටුවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී, ඇතැම් සක්‍රිය (Active) මට්ටමේ පැවති CDS ගිණුම්ද නොදැනුවත්වම (වැරදීමකින්) අත්හිටුවීමට ලක්ව ඇත.
මෙම ගැටලුව අද දින වෙළෙඳපොළ ආරම්භයට පෙර පැවැත්වෙන පූර්ව විවෘත සැසිය (Pre-open session) අතරතුරදී හඳුනා ගන්නා ලද අතර, ඒ අනුව, වැරදීමකින් අත්හිටුවීමට ලක්වූ CDS ගිණුම්වල තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වෙළෙඳපොළ වෙන්දේසි කැඳවුම් කාලය (පූර්ව විවෘත සැසිය) දීර්ඝ කිරීමට පියවර ගන්නා ලදී.
සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු (Regular Trading) පෙරවරු 11.00 ට ආරම්භ විය.
වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කිරීම ප්‍රමාද වීම හේතුවෙන් සිදු වූ අපහසුතාව පිළිබඳව මධ්‍යම තැන්පතු ක්‍රමය (පෞද්ගලික) සමාගම සිය බලවත් කනගාටුව පළ කරන අතර, සාධාරණ සහ විධිමත් වෙළෙඳපොළක් සහතික කිරීම සඳහා පූර්ව විවෘත සැසිය දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය වූ බව පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
