ආපදා ඔරොත්තුදීමේ හැකියාව ගැන GeoAI ප්‍රදර්ශනය 14දා කොළඹදී
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, ආපදා අවදානම් කළමනාකරණ වෘත්තිකයන්ගේ සංගමය (ADRiMP) සමඟ එක්ව, ආපදාවන්ට ඔරොත්තු දීම සඳහා GeoAI (භූ-අවකාශීයකෘතිම බුද්ධිය) යොදා ගැනීම පිළිබඳ ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණය මැයි 14 වන දින කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
මෙම වැඩසටහන මහජනතාව සඳහා විවෘත වේ. මෙම අවස්ථාවේදී නවීන සිතියම්කරණ මෙවලම් සහ අමෙරිකානු ප්රමුඛ කෘතිම බුද්ධි නවෝත්පාදන මඟින් ආපදා සූදානම සහ ප්‍රතිචාර දැක්වීම ශක්තිමත් කළ හැකි ආකාරය ප්රදර්ශනයකරනු ලැබේ.
GeoAI යනු සිතියම්, චන්ද්‍රිකා ඡායාරූප සහ කාලගුණ රටා වැනි භූගෝලීය දත්ත කෘත්‍රිම බුද්ධිය සමඟ ඒකාබද්ධ කර, බලධාරීන්ට ස්වභාවික විපත් වඩාත් නිවැරදිව පුරෝකථනය කිරීමට, නිරීක්ෂණය කිරීමට සහ කාර්යක්ෂම ලෙස ප්‍රතිචාර දැක්වීමට උපකාර කරන තාක්ෂණයකි. AI සහ භූ-අවකාශීය තාක්ෂණයන්හි අමෙරිකානු ප්‍රමුඛත්වය මත පදනම්ව, මෙම මෙවලම් ගංවතුර, කුණාටු සහ නායයෑම් වැනි හදිසි අවස්ථාවලදී වේගවත්, වඩාත් නිවැරදි සහ දත්ත-පදනම් කරගත් තීරණ ගැනීම සඳහා සහාය ලබාදේ.
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් අනතුරුව, 2025 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය “GeoAI for Disaster Resilience” (ආපදාවන්ට ඔරොත්තු දීම සඳහා GeoAI) මුලපිරීම දියත් කිරීමට සහාය ලබා දුන්නේය.
ADRiMP සමඟ එක්ව ආපදා කළමනාකරණ විශේෂඥයන් වන ආචාර්ය නොවිල් විජේසේකර සහ ආචාර්ය අස්ලම්සාජා විසින් සංවර්ධනය කරන ලද මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ දරුණු කාලගුණික සිදුවීම්වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම අරමුණු කරයි.
මෙම වැඩසටහන මඟින් භූගෝලීය තොරතුරු පද්ධති (GIS) වෘත්තිකයන් සහ විශ්වවිද්‍යාල සිසුන් 150දෙනෙකු පුහුණු කර ඇති අතර, ආපදා අවදානම් කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා උසස් AI තාක්ෂණයෙන් වැඩිදියුණු කළ මෙවලම්වලින් ඔවුන් සන්නද්ධ කර ඇත. නිදසුනක් ලෙස, මෙම මෙවලම් මඟින් ගංවතුරට ගොදුරු වන ප්‍රදේශ තත්‍ය කාලීනව සිතියම්ගත කළ හැකි අතර, කුණාටුවක් නිශ්චිත ප්‍රජාවන්ට බලපාන ආකාරය පුරෝකථනය කළ හැකි වේ.
එමෙන්ම හදිසි ප්‍රතිචාර කණ්ඩායම්වලට ඉවත් කිරීමේ සැලසුම් වඩාත් ඵලදායී ලෙස සැලසුම් කිරීමට සහාය වේ. මෙම හැකියාවන් ප්රදර්ශනයේදීද පෙන්වනු ඇත. ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණය මගින්, ශ්‍රී ලංකාව පුරා ඇති සැබෑ ආපදා අභියෝග සඳහා මෙම තාක්ෂණයන් යෙදිය හැකි ආකාරය නිරූපණය කරමින්, නව්‍ය ලෙස දේශීයව සංවර්ධනය කරන ලද GeoAI විසඳුම් ඉදිරිපත් කරනු ඇත.
මෙම ප්‍රදර්ශනය මැයි 14 වන දින පෙ.ව. 11:00 සිට ප.ව. 5:00 දක්වා මහජනතාව සඳහා විවෘතව පවතී. මේ සඳහා ලියාපදිංචි වීම අවශ්‍ය වේ. ලියාපදිංචි වීමසඳහා කරුණාකර https://arcg.is/0b9bbL2 වෙත පිවිසෙන්න.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
