අමානා බැංකුව 2025 විශිෂ්ටතම මූල්‍ය ප්‍රතිඵලයක් වාර්තා කරයි
අමානා බැංකුව 2025 වසරේදී සුවිශේෂී කාර්ය සාධනයක් පෙන්නුම් කිරීමට සමත් වෙමින්, වසරේ බැංකුවේ බදු පෙර ලාභය 47% කින් වර්ධනය වී රු.බිලියන 4.1 ක් ලෙසත්, බදු පසු ලාභය 40% කින් වර්ධනය වී රු.බිලියන 2.4ක් ලෙසත් වාර්තා කර තිබේ.
මෙය අමානා බැංකුව 2011 වසරේ ආරම්භ වූ දා සිට මේ දක්වා වාර්තා කළ ඉහළම ලාභදායීත්වයයි. බැංකුවේ සියලුම බදුවලට පෙර මෙහෙයුම් ලාභය පෙර වසරට සාපේක්ෂව 45% කින් ඉහළ ගොස් රු.බිලියන 5.5 ක් විය. බැංකුවේ සමස්ත බදු දායකත්වය වන රු.බිලියන 3.0, එහි සියලු බදුවලට පෙර මෙහෙයුම් ලාභයෙන් 55% ක් වැනි ඉහළ ප්රතිශතයකි.
බැංකුවේ ආදායම් කාර්ය සාධනය සම්බන්ධයෙන් ගත් විට, 4.3%ක යහපත් මූල්‍ය ආන්තිකයක්ද සමඟින් ශුද්ධ මූල්‍ය ආදායම පෙර වසරට සාපේක්ෂව 21%කින් වර්ධනය වී රු.බිලියන 8.3 ක් ලෙස වාර්තා වී තිබේ. ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායමද ශක්තිමත් ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් පෙර වසරට සාපේක්ෂව 27%කින් වර්ධනය වී රු.බිලියන 1.4ක් ලෙස වාර්තා වී තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස මුළු මෙහෙයුම් ආදායම 16%කින් වර්ධනය වී රු.බිලියන 10.1ක් වූ අතර, ශුද්ධ මෙහෙයුම් ආදායම වසර අවසන් වන විට රු.බිලියන 10.7 ක් විය. පිරිවැය පාලනය කෙරෙහි බැංකුව අඛණ්ඩව අවධානය යොමු කිරීමත් සමඟ මෙහෙයුම් කාර්යක්ෂමතාව තවදුරටත් ශක්තිමත් වූ අතර, 2024 වසරේදී 53% ක් වූ පිරිවැය-ආදායම් අනුපාතය 2025 වසරේදී 51.8% දක්වා වැඩිදියුණු වීම මඟින් එය පිළිබිඹු වේ.
සිය මූල්‍ය ඉදිරි ගමන තවදුරටත් ශක්තිමත් කරගනිමින් බැංකුව රු.බිලියන 2.9 ක සමස්ත විස්තීර්ණ ආදායමක් වාර්තා කළ අතර එය පෙර වසරට සාපේක්ෂව 66% ක් වැනි ඉහළ වර්ධනයකි. වර්ධනය කේන්ද්‍ර කරගත් ආර්ථික පසුබිමක් තුළ ක්‍රියාත්මක වෙමින් අමානා බැංකුව ජාතික ආර්ථිකයේ ප්‍රධානතම අංශයක් වන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කළ අතර, ඒ හේතුවෙන් මෙම වසර තුළ ගනුදෙනුකරුවන් වෙත නිකුත් කළ අත්තිකාරම්වල වටිනාකම 36% ක හෙවත් රු.බිලියන 39.6 ක කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කර තිබේ. බැංකුව නිකුත් කළ අත්තිකාරම්වල මුළු වටිනාකම රු.බිලියන 150.9 ක් වූ අතර එය බැංකුවේ සමස්ත වත්කම්වලින් 74% ක් විය. මේ හේතුවෙන් අමානා බැංකුව රටේ මූර්ත අංශයට සම්බන්ධ මූලික බැංකුකරණ ක්‍රියාකාරකම් වැඩියෙන්ම සිදු කළ බැංකුව බවට පත් වී ඇති අතර, එය අමානා බැංකුව අනුගමනය කරන සංවර්ධනය කේන්ද්‍ර කරගත් බැංකුකරණ ප්‍රවේශයට මනා සාක්ෂියකි.
බැංකුවේ ඵලදායී අවදානම් කළමනාකරණය සහ ප්රතිරක්ෂණ ප්රමිතීන් මෙන්ම එහි සුවිශේෂී මානුෂ හිතවාදී ප්‍රවේශය හේතුවෙන්, ක්ෂේත්රයේ අවම මට්ටමක් වන 1.2% ක අදියර 3 අපහායන මූල්‍ය අනුපාතයක් (Stage 3 Impaired financing ratio) පවත්වා ගනිමින් මෙම කාර්ය සාධනය අත්කර ගැනීමට බැංකුවට හැකි වී තිබේ. බැංකුවේ තැන්පතු රු.බිලියන 18.0කින් වර්ධනය වී රු.බිලියන 172.0 ක් ලෙස වාර්තා වූ වූ අතර, ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA ratio) ක්ෂේත්රයේ විශිෂ්ටතම මට්ටමක් වූ 45% ක් ලෙස වාර්තා විය. බැංකුවේ වත්කම්වල මුළු වටිනාකම රු.බිලියන 204.3 ක් වූ අතර එය මෙම වසර තුළ 12% ක වර්ධනයක් පිළිබිඹු කරයි.
තිරසාර ලාභදායිතා ප්‍රවණතාව තවදුරටත් ශක්තිමත් කරමින්, බැංකුවේ කොටස් මත ප්‍රතිලාභය 2024 මූල්‍ය වර්ෂයේ වාර්තා වූ 8.0% සිට 2025 මූල්‍ය වර්ෂයේදී 10.4% දක්වා ඉහළ ගොස් පළමු වරට ද්විත්ව ඉලක්කම් මට්ටමට ළඟා වී තිබේ. ඉපැයුම් කාර්යක්ෂමතාවේ වර්ධනයක් පිළිබිඹු කරමින් වත්කම් මත ප්‍රතිලාභයද 1.6% සිට 2.1% දක්වා ඉහළ ගොස් ඇත. පොදු කොටස් පළමු පෙළ අනුපාතය 13.0% ක් සහ සමස්ත ප්‍රාග්ධන අනුපාතය 14.7% ක් වූ අතර, එම අගයන් අවම නියාමන මට්ටම් වන 7% ට සහ 12.5% ට පැහැදිලි ලෙසම ඉහළින් පැවතීම බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව මැනැවින් පිළිබිඹු කරයි. 2025 වසර අවසන් වන විට ද්‍රවශීලතාව සම්බන්ධ ආරක්ෂිත සීමාවන් ශක්තිමත්ව පැවති අතර, රුපියල් සහ සියලුම මුදල් වර්ග සඳහා ද්‍රවශීලතා ආවරණ අනුපාත පිළිවෙලින් 330.3% සහ 231.5% ක් සහ ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය 142.5% ක් විය. මේ සියල්ල අවම නියාමන සීමාව වන 100% ට වඩා පැහැදිලි ලෙසම ඉහළ මට්ටමක පැවතිණි.
2025 වසර තුළ, විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බලගැන්වීම, මූල්‍ය අන්තර්කරණය පුළුල් කිරීම සහ තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම ආදිය ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දැක්වූ දායකත්වය සහ ඵලදායී ආයතනික සමාජ වගකීම් වැඩසටහන් ආදිය හේතුවෙන් අමානා බැංකුවට දේශීය හා ජාත්‍යන්තර ඇගයුම් රැසක් හිමි විය. The Asian Banker විසින් ලොව ශක්තිමත්ම ඉස්ලාමීය බැංකු 50 අතරට නම්කරනු ලැබීමට අමතරව, රටවල් 57 ක් ඇතුළත් වූ IsDB Private Sector Forum Awards හිදී ‘The Most Impactful ICD Investee Company’ සම්මානය හිමි කර ගැනීමටත්, PwC විසින් විනිශ්චය කරන ලද ICC Emerging Asia Banking Awards හිදී ‘Best Bank in Sri Lanka’ සහ ‘Best Performance in Asset Quality’ සම්මාන හිමි කර ගැනීමටත්, Islamic Finance Forum of South Asia Awards 2025 හිදී ‘Bank of the Decade’ සම්මානය හිමි කර ගැනීමටත් බැංකුවට හැකියාව ලැබිණි.
තවද Fitch Ratings වෙතින් ‘BBB-(lka) with a Stable Outlook’ ශ්‍රේණිය සහ Lanka Rating Agency වෙතින් ‘BBB+ rating with a Stable Outlook’ ශ්‍රේණිය හිමි කර ගනිමින්, ආයෝජන මට්ටමේ ශ්‍රේණිගත කිරීම් අඛණ්ඩව රඳවා ගැනීමට අමානා බැංකුව සමත් විය.
තම කොටස් හිමියන්ට අඛණ්ඩව ප්රතිලාභ පිරිනැමීමේ අරමුණින් අමානා බැංකුව අඛණ්ඩව 8 වන වරටත්, 4.3%ක ලාභාංශ අනුපාතයක් සහ 29%ක ගෙවීම් අනුපාතයක් සමඟින් කොටසකට රු.1.30ක අතුරු ලාභාංශයක් ප්‍රකාශයට පත් කළේය. අමානා බැංකුවේ කොටස් මිලද එහි ස්ථාවර කාර්ය සාධනය සහ වර්ධනය මැනැවින් පිළිබිඹු කරන අතර, 2024 වසර අවසානයේ රු.24.60ක් වූ කොටසක මිල 2025 වසර අවසන් වන විට 20% කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ යමින් රු.30.00 ක් ලෙස වාර්තා විය.
මෙම කාර්යසාධනය සම්බන්ධයෙන් අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා අදහස් දක්වමින්, "2025 වසර අමානා බැංකුවේ ඉදිරි ගමනේ තීරණාත්මක පරිච්ඡේදයක් ලෙස මතකයේ රැඳේවි. ඊට හේතුව වන්නේ මෙම වසරේදී බැංකුවේ බදු පෙර ලාභය රු.බිලියන 4 ක සන්ධිස්ථානය ඉක්මවා යාම සහ හිමිකම් මත ප්‍රතිලාභය ද්විත්ව ඉලක්කම් අගයකට පැමිණීම පමණක් නොව, අපගේ ව්‍යාපාර ආකෘතියේ ශක්තිය සහ පරිණතභාවය පැහැදිලිවම සනාථ වීමයි. මේ දක්වා අප අත්කරගෙන ඇති ප්‍රගතිය මඟින් ස්ථාවරත්වය, සුපරීක්ෂාකාරී ආයතනික පාලනය සහ දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය මත පදනම් වූ ක්‍රමෝපායක වැදගත්කම මැනැවින් පිළිබිඹු වනවා. මේ සාර්ථකත්වය සඳහා දැක්වූ සුවිශාල දායකත්වය වෙනුවෙන් අපගේ අධ්යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන්ට, ෂරියා අධීක්ෂණ මණ්ඩලයට, අපගේ කළමනාකාරීත්වයට සහ කාර්ය මණ්ඩලයටත්, අප කෙරෙහි අඛණ්ඩව විශ්වාසය තැබීම වෙනුවෙන් අපගේ ගනුදෙනුකරුවන්ට සහ කොටස් හිමියන්ටත් මගේ අවංක කෘතඥතාව පළකිරීමට කැමතියි. 2026 වසරේ අපගේ ගමන් මගේ 15 වැනි වසරට එළඹී සිටින මේ මොහොතේ, අඛණ්ඩව තිරසාර වර්ධනයක් අත්පත් කරගනිමින් අපගේ සේවය ලබන සියලුම දෙනාට ඉහළම ප්රතිලාභ පිරිනැමීමට අප අඛණ්ඩව කැප වී සිටිනවා.” යැයි පැවසීය.
අමානා බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා අදහස් දක්වමින්, “2025 වසරේ අප අත් කරගත් වාර්තාගත කාර්ය සාධනය, අපගේ වෙළඳපළ තත්ත්වය ශක්තිමත් කරගැනීම, පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීම, සුපරීක්ෂාකාරී අවදානම් කළමනාකරණය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය යනාදී සාධකවල ප්‍රතිඵලයක්. පුද්ගලයන් සහ ව්‍යාපාර එක සේ සවිබල ගන්වන මානුෂ හිතවාදී සහ සංවර්ධනය කේන්ද්‍ර කරගත් බැංකුකරණ අත්දැකීමක් ලබාදීමට අප කැප වී සිටිනවා. කවදත් අපගේ වර්ධනයේ ඉදිරි ගමන් මඟ තීරණය වූයේ ඒ කැපවීම තුළිනුයි. විධිමත් ප්‍රවේශයක් ඔස්සේ කාර්යක්ෂම ලෙස සැලසුම් ක්‍රියාවට නැංවීම මඟින්, විශ්වාසයෙන් යුතුව අනාගතය වෙත පා තැබිය හැකි ශක්තිමත් වර්ධනීය ප්‍රවණතාවක් නිර්මාණය කරගැනීමට අපට හැකි වී තිබෙනවා. අප වෙත ලබාදුන් මගපෙන්වීම හා අධීක්ෂණය වෙනුවෙන් අපගේ සභාපතිතුමන් සහ අධ්යක්ෂ මණ්ඩලයටත්, අඛණ්ඩ කැපවීම වෙනුවෙන් අපගේ කළමනාකාරීත්වයට සහ කාර්ය මණ්ඩලයටත්, අප කෙරෙහි දිගින් දිගටම විශ්වාසය තැබීම වෙනුවෙන් අපගේ කොටස් හිමිකරුවන්ට, ගනුදෙනුකරුවන්ට සහ ව්‍යාපාරික හවුල්කරුවන්ටත් මා බෙහෙවින් ස්තූතිවන්ත වනවා. අපගේ සේවාවන් හා ආවරණ පරාසය පුළුල් කරගන්නා අතරම ඉදිරියේදී එළඹෙන අවස්ථාවන් දෙස අප බලා සිටින්නේ ඉමහත් උනන්දුවකින්.” යැයි සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
