ෆයිසර්-බයෝඑන්ටෙක් කොවිඩ්-19 එන්නත් මාත්‍රා ලක්ෂ ගණනින් මහා බ්‍රිතාන්‍ය වෙත රැගෙන ඒම දැනටම ආරම්භ වී ඇති බව එක්සත් රාජධානියේ රජය තහවුරු කරයි.
බෙල්ජියමේ පිහිටි එම සමාගමේ කර්මාන්ත ශාලාවේ සිට ප්‍රංශය සහ එංගලන්තය අතර ඉංග්‍රීසි ඕඩය හරහා වූ උමං මාර්ගයෙන් ට්‍රක් රථවල මෙම එන්නත් මාත්‍රා ප්‍රවාහනය කරමින් පවතින බව සඳහන් වෙයි.
බ්‍රිතාන්‍යයේ සත්කාරක නිවාසවල සිටින අයට සහ කාර්ය මණ්ඩලයට එන්නත් කිරීම අඟහරුවාදා සිට ආරම්භ කිරීමට එක්සත් රාජධානියේ රජය අපේක්ෂා කරයි. ප්‍රමුඛතා ලැයිස්තුවේ ඊළඟට සිටින්නේ ජාතික සෞඛ්‍ය සේවාව හෙවත් එරට සෞඛ්‍ය අංශයේ සේවකයන් සහ වයස අවුරුදු 80ට වැඩි පුද්ගලයන්ය.
එක්සත් රාජධානියේ ව්‍යාපාරික ඇමති ආලෝක් ෂර්මා පැවසුවේ, "අපි නත්තලේ එන්නත් විශාල වශයෙන් නත්තලට පෙරදීම ලබාදෙනවා. නමුත් වැඩි එන්නත් මාත්‍රා ප්‍රමාණයක් නව වසර එලැඹෙන විට ලබාදීම සිදුවනු ඇති" යනුවෙනි.
එක්සත් රාජධානිය විසින් ෆයිසර් එන්නත මාත්‍රා මිලියන 40ක් ඇණවුම් කර ඇත. සෑම එන්නතක්ම සති තුනක් බැගින් වූ කාල පරාසයක් අතර ලබාදෙන මාත්‍රා දෙකක් වශයෙන් ලබාදිය යුතුය. ඒ අනුව මෙම ඇණවුම එරට මිලියන 20ක ජනතාවට ප්‍රමාණවත් වන අතර, රජය පවසන්නේ මේ වසරේදී මාත්‍රාවන් 800,000ක් පමණ පැමිණිය යුතු බවය.
එන්නත් කිරීමේ වැඩසටහන ජාතික වශයෙන් ක්‍රියාත්මක කරන විට, විශාල එන්නත් කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවා වෛද්‍ය මධ්‍යස්ථාන හා ඔසුසැල්වලින්දද එන්නත ලබාගැනීමට පහසුකම් සලසා ඇති අතර, හමුදාව සැපයුම් සහ යෙදවීම සඳහා සහාය ලබාදීමට යොදවා තිබේ.
කෙසේ වෙතත් ෆයිසර් එන්නත සමග ඇති විශාල අභියෝගය දිගු කාලයක් ගබඩා කිරීමය. එසේ දිගු කලක් ගබඩා කිරීමේදී එය සෙල්සියස් අංශක සෘණ 70ක අවම මට්ටමක තබාගත යුතුය. කෙසේ වෙතත්, එය සෙල්සියස් අංශක 2ත් 8ත් අතර දින 5ක් ගබඩා කළ හැකිය.