ෆයිසර් සහ බයෝඑන්ටෙක් කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නතෙහි පළමු මාත්‍රාව එක්සත් ජනපදය පුරා බෙදාහැරීම හෙට (14දා) සිට ආරම්භ කරන බව ඔපරේෂන් වෝර්ප් ස්පීඩ් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ජෙනරාල් ගුස් පර්නා පවසයි.
"ෆයිසර් නිෂ්පාදන මධ්‍යස්ථානයේ සිට UPS සහ FedEx කේන්ද්‍රස්ථාන වෙත එන්නත ගෙනයාම ආරම්භ කරනවා. පසුව එය ප්‍රාන්ත සහ බලප්‍රදේශ විසින් හඳුනාගත් රට පුරා මධ්‍යස්ථාන 636 වෙත රැගෙන යනු ලබනවා" පර්නා පැවසීය.
"සෑම ප්‍රාන්තයකම මධ්‍යස්ථාන 145කදී සඳුදා සිට එන්නත් ලබාදීමට අප කටයුතු කරන අතර, අඟහරුවාදා තවත් මධ්‍යස්ථාන 425කදීත්, බදාදා සිට තවත් මධ්‍යස්ථාන 66කදීත් එන්නත් ලබාදීමට අපි අපේක්ෂා කරනවා. එමගින් ෆයිසර් එන්නතෙහි පළමු වැනි ඇණවුම සම්පූර්ණ වේවි." පර්නා වැඩිදුරටත් පැවසීය.
එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) සිකුරාදා හදිසි භාවිතය සඳහා ෆයිසර්-බයෝටෙක් එන්නත අනුමත කිරීමෙන් පසුව මෙම වැඩිපිළිවෙල ආරම්භ වූ අතර, එමෙන්ම එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ ආයතනයේ (CDC), ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ උපදේශක කමිටුව විසින්ද වයස අවුරුදු 16 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා ෆයිසර් සහ බයෝඑන්ටෙක් හි කොවිඩ්-19 එන්නත නිර්දේශ කරමින් සිය අනුමැතිය ලබාදී තිබේ.
මෙම එන්නත මුලින්ම භාවිතය සඳහා අනුමත කළ රාජ්‍යය එක්සත් රාජධානිය වන අතර, ඔවුන් මේ වනවිටත් එන්නත් ලබාදීම සාර්ථකව සිදුකරමින් පවතින බව වාර්තා වෙයි.
එක්සත් ජනපදයේ දීර්ඝ කාලීන සත්කාරක මධ්‍යස්ථානවල සෞඛ්‍ය සේවකයන් සහ වැඩිහිටි පුද්ගලයින් පළමු වටයේ මාත්‍රාවන් මිලියන 2.9ක ප්‍රධාන ප්‍රතිග්‍රාහකයන් වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. එය ලොව වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදනවලින් එය 22.25%ක් සහ වෛරසය ආශ්රිත ගෝලීය මරණවලින් 18.49%කට වගකියන එක්සත් ජනපදයේ වසංගත උදම්රළ නැවැත්වීමේ ප්‍රබල උත්සාහයක් බවට පත්ව තිබේ.