රටට අවශ්‍ය සියලු ජාතීන්ට ගරුකරන නායකයෙකු මිස හිට්ලර් කෙනෙකු නොවන බවත් යළි මේරටේ හිට්ලර්ලාට ඉඩක් නොමැති බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටට හිට්ලර්ලා අවශ්‍ය යැයි කියන පිරිස් ගැන රටේ ජනතාව දෙවරක් සිතය යුතු යැයි ද ඒ මහතා පැවසුයේ ඊයේ (21දා) පාර්ලිමේන්තුවේ පැවති සුවසැරිය විවාදයට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
ʻʻ මේ රටට හිට්ලර් කෙනෙක් ඕනැද?. මේ රටට බලාපොරොත්තු වන හිට්ලර් මොකද කළේ. ජර්මනියේ හිටිය හිට්ලර් සම්පූර්ණයෙන්ම ප්රජාතන්ත්රවාදය යටපත් කරලා කෘත්‍රිම සංවර්ධනයක් පෙන්නුවා. පසුව අන්ත ජාතිවාදයක් පෙන්වලා යුදෙව්වන් සමූල ඝාතනය කළා. යුදෙව්වෝ මිලියන 06ක් මරා දැමුවා.
අන්තිමට හිට්ලර් උරුම කළේ මොකද්ද? ජර්මනියේ තිබුණි සියලු වත්කම් විනාශ වුණා. රාජ්‍ය දෙකට කැඩුණා. ශතවර්ෂ ගණනක් ගොඩනැගුණු ශ්‍රේෂ්ඨ ජර්මනිය විනාශ වුණා. මුළු ලෝක ඉතිහාසයේ බරපතළම ඛේදවාචකය සිදු කළේ හිට්ලර්. ඒ තුළින් ජනතාව මිලියන ගණනක් වළපල්ලට යැව්වේ හිට්ටලර්. ඉතිං අපි ලංකාවටත් ඉල්ලන්නේ හිට්ලර් කෙනෙක්ද ?.
ශ්‍රී ලංකාව අනාගත සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන්න පුළුවන් හිට්ලර් වගේ මිනිස්සුද? මේ රටේ අනාගත සැලසුම් හදන්න අපිට හිට්ලර් කෙනෙක්ම ඕනද? . මේ රට ගොඩනගන්න පුළුවන් හිට්ලර් කෙනෙක් ඕන කියන කට්ටිය ගැන අපි දෙපාරක් හිතන්න ඕන. මේ රටට විකල්පය ප්‍රජාත්‍රන්ත්‍රවාදය විශ්වාස කරන නායකයෝ මිස හිට්ලර්ලා නෙවෙයි. සියලු ජාතීන්ට එකවගේ සලකන මනුස්කම තියෙන නායකයන් මේ රටට අවශ්‍යයි.
මේ රටට හිට්ලර් කෙනෙක් අවශ්‍ය නැහැ. ලේ සුවඳට ඉව අල්ලන පාලකයන්ට නැවත මේ මාතෘ භූමියේ ඉඩක් නොමැති බව අපි වගකීමෙන් කියන්න ඕන. එසේ නොවන තැනට අවශ්‍ය කරන ඕනෑම කැපවීමක් කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා ʼʼ යැයි ද පවසා සිටියේය.
