හැම දවසෙම බලයේ රැදී සිටීමට කල්පනා කිරිම තේරුමක් නැති බවත් රටේ වයසක දේශපාලනයේ ගැන හිතලා, ඒ අය නැවත පක් කර ගැනීමෙන් වැලකී, අලුත් තුන්වන පරම්පරාවට රට පාලනය කරන්න අවස්ථාව සලසා දිය යුතු බව ආදිවාසී නායක විශ්ව කීර් ති වනස්පතී වන්නිලා ඇත්තන් පවසයි.
දඹාන කොට බකිනිය ආදිවාසී ගම්මානයේදී අද (11) උදැසන ප්රකාශයක් ලබාදෙමින් රටේ ජනතාවගෙන් හා පක්ෂ නායකත්වයෙන් මෙම ඉල්ලිම සිදු කර තිබේ.
එතුමන් එලෙස ප්රකාශ කර සිටියේ පාර්ලිමේන්තු මැතිවරණයත් සමග රට තුළ ඉහළ යමින් පවතින දේශපාලන උණුසුමත් සමග ජනතාවගේ ගැටලු අමතක කර, සුරංගනා කථා කියමින් රට පුරා මැතිවරණ පොරොන්දු දෙමින් යළි ජනතාව රවටමින් දේශපාලකයන් කටයුතු කරන සමයක් හේතුවෙන් හා ජනතාව ඒ පිළිබඳව අවදියෙන් සිටිය යුතු සමයක් එළැබ ඇති බව ඒත්තු ගන්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආදිවාසී නායකතුමන්
“ අපේ රටට නිදහස ලැබුණාට පස්සේ මේ රටේ විවිධ කාලවලට පත් වෙච්ච නායකයො, පාලකයෝ විවිධ ආකාරයෙන් විවිධ ස්වරූපයෙන් පත් වෙලා තියෙනවා. මම විශ්වාස කරන විදියට මම දැක්ක විදියට මේ රට ගැන ජාතිය ගැන ආගම ගැන සංස්කෘතිය ගැන හිතලා වැඩ කරපු අය බොහොම අල්පයයි හිටියේ.
රට පාලනයට අලුතින්ම කණ්ඩායමක් පත්විය යුතුයි කියලා වත්මන් ජනාධිපතිවරයා මේ වෙනකොට හොද තීරණයකට එළැඹිලා ඉන්නවා. පසුගිය කාලය දෙස හැරිලා බලන විට ඒ හැම දවසකම රටේ කථාබහට ලක් උනේ රටේ පාලකයන් කරපු දූෂණ, භීෂණ, මංකොල්ල ගැන. රටේ මිනිසුන්ගේ ප්රශ්න, බඩු මිළ ඉහල යෑම්, ජීවත් වීමේ අපහසුව ගැන කථා කරනවා වෙනුවට පසුගිය කාලය පුරාම මුල් තැන අරගෙන කථා කරේ රටේ සිදු වෙච්ච භීෂණ, දුෂණ, වංචා ගැන. ඒවාගෙන් තාමත් රටට ප්රතිඵලයක් ලැබිලා නෑ කොච්චර කථා කරත්.
ඒ නිසා මේ රටේ වැදගත් ඡන්දයක් උදා වෙලා තියෙන කාලයක වකවානුවක, රටේ ජනතාව බුද්ධිමත්ව හිතලා තීරණයක් අරගන්න ඕන රට ජාතිය ආගම සංස්කෘතිය පරිසරය ආරක්ෂා කරන, බුද්ධියෙන් හිතලා මතලා වැඩ කිරිමේ හැකියාව තිබෙන ජවසම්පන්න තරුණයෝ පාර්ලිමේන්තුවට වෙනුවෙන් පත්කරලා යවන්න. ආණ්ඩුවක් වශයෙන් බලයට පත් විය යුත්තේ එහෙම කණ්ඩායමක්.
රටේ ප්රධාන දේශපාලන පක්ෂ දෙකක් තිබෙනවා. ඒ ප්රධාන පක්ෂ දෙකේ ඉන්න පිරිස් ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට පනිනවා. ඉතිහාසයේ ඉදලාම පැන පැන ඉන්න බොහෝ පිරිසකගෙන් පිරිච්ච පක්ෂ දෙකක් තියෙන්නේ. ඒ අය ගැන හොඳට විපරම් කරලා බැලුවාම හැරමිටියක් නැතුව පාරේ බැහැලා යන්න අමාරු වැඩි පිරිසකුත් ඒ අය අතර ඉන්නවා.
කෙනෙක් වයසට යනවා කියන්නේ යහපත් කල්පනාවක් නැති, කාගෙවත් උදව්වක් නැතිව යමක් කර ගන්න බැරි තත්ත්වයට පත් උන, අත දරුවෙක් වගේ ළමා කාලයේ හැසිරීම් පෙන්නන සමයක්. ඒ වගේ කණ්ඩායම් දැන්වත් තරුණ පරපුරට නායකත්වය බාරදීලා, තරුණයන්ට උපදේශකත්වය ලබාදෙමින්, රට පාලනය කරන ආකාරය ගැන තමන්ගේ අත්දැකීම් ගුරු හරුකම් ලබාදෙන්න ඕන. හැම දවසෙම බලයේ රැදී සිටීමට කල්පනා කිරිම තේරුමක් නෑ. රටට සෙතක් නෑ යනුවෙන් වන්නිල ඇත්තෝ වැඩිදුරටත් පැවසීය .
මහියංගණ රංජිත් කරුණාවීර
