හයිටියට බලපෑ රික්ටර් පරිමාණ 7.2ක ප්‍රබල භූමිකම්පාවක් නිසා පසුගිය මාසයේදී සිය ජනාධිපතිවරයා ඝාතනයෙන් අසරණ වූ දුගී රාජ්‍යයට තවත් විනාශකාරී ස්වභාවික ආපදාවකට මුහුණදීමට සිදුව ඇත. ඒ මීට වසර 11කට පෙරදී මෙවැනිම ව්‍යසනයකට ගොදුරුවීමේ මතකයන් පහව යෑමටත් මත්තෙනි.
භූමිකම්පාව හේතුවෙන් එරට දකුණු අර්ධද්වීපයේ බටහිර කොටසේ නගර දෙකකවත් රෝහල්, ගොඩනැගිලි සමතලා වී සුන්බුන් අතර විශාල පිරිසක් සිරවී ඇති බව වාර්තා වෙයි.
සිවිල් ආරක්ෂණ ඒජන්සියේ අධ්යක්ෂ ජනරාල් ජෙරී චැන්ඩ්ලර්ට අනුව අවම වශයෙන් පුද්ගලයින් 300ක් ඉක්මවා මියගොස්, තවත් 1,800කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. නමුත් මෙම සංඛ්‍යා තවදුරටත් ඉහළ යාහැකි බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
පීඩාවට පත් වූ නගරයක් වන ලෙස් කයිස්හි දේවස්ථානයේ පල්ලියේ ප්‍රධාන පූජකවරයා පැවසුවේ නගරයේ වීදි මරලතෝනීන්ගෙන් පිරී ගොස් ඇති බවයි. මිනිසුන් තම ආදරණීයයන් සොයමින් ඒ මේ අත දුවන බවත්, ඇතැම් දෙනා වෛද්‍ය ආධාර හෝ බීමට ජලය පොදක් හෝ නොමැතිව සිටින බවත් හෙතෙම පැවසීය.
පසුගිය ජූලි 7දා ජනාධිපති ජොවනල් මොයිස් සිය නිවසේ සිටියදී ඝාතනයට ලක්වීමෙන් පසුව, දේශපාලන අර්බුදයකට මුහුණදී සිටි මිලියන 11ක ජනගහනයක් ජීවත් වන හයිටිය, මෙම ව්‍යසනයද වඩාත් නරක මොහොතක පැමිණි බියකරු සිහිනයක් බඳුය.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ පෝට්-ඕ-ප්‍රින්ස් සිට සැතපුම් 80ක් පමණ දිවයිනේ බටහිර දෙසින් පිහිටි පෙටිට් ට්රෝ ද නිප්ස් නගරයේ සිට සැතපුම් 5ක් ඈතින් භූ කම්පනය සිදුව ඇති බවයි. භූ කම්පන විද්‍යාඥයන්ට අනුව එය සැතපුම් හතක් ගැඹුරින් හටගෙන තිබේ.