හයිටියේ ජනාධිපති ජොවැනෙල් මොයිස් ඝාතනය කිරීමේ සැකකාර මහ මොළකරුවෙකු ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට පත්වූ බව හයිටි පොලීසිය නිවේදනය කර තිබේ.
හයිටි බලධාරීන් විස්තර කරන පරිදි කොලොම්බියානුවන් 26 දෙනෙකු සහ හයිටි ඇමෙරිකානුවන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් ඝාතකයන් කණ්ඩායමක් විසින් කැරීබියානු රාජ්ය නොසන්සුන්තාවට පත් කරමින්, ජනාධිපතිවරයාව පසුගිය බදාදා දිනයේ අලුයම ඔහුගේ පෝර්ට් ඕ ප්රින්ස් නිවසේදී වෙඩි තබා ඝාතනය කර තිබුණි.
අත්අඩංගුවට ගත් 63 හැවිරිදි ක්රිස්ටියන් එමානුවෙල් සනොන් නමැති මෙම ප්රහාරයේ මහ මොළකරු පසුගිය ජුනි මස මුලදී පෞද්ගලික ජෙට් යානයකින් හයිටිය වෙත පැමිණ තිබේ. හයිටි ඇමෙරිකානුවෙකු වන ඔහු කුලී හමුදාවක් සූදානම් කර තමා වෙත හයිටියේ ජනාධිපති ධුරය ලබාගැනීමේ අරමුණින් මෙම ප්රහාරය සැලසුම් කර ඇති බව ජාතික පොලිස් ප්රධානී ලියොන් චාල්ස් පැවසීය.
"මෙම ප්රහාරකයන්ගේ මෙහෙයුම මුලින් එම්මානුවෙල් සනොන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වූ නමුත් පසුව මෙහෙයුම වෙනස් කර තිබෙනවා. ඔවුන් ජනාධිපතිවරයා ඝාතනය කිරීමකට වඩා ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට මුලින් සූදානමක සිට තිබෙනවා." යනුවෙන් චාල්ස් පැවසීය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් හයිටි පොලිසිය කොලොම්බියානුවන් 18 දෙනෙකු සහ සනොන් ඇතුළු හයිටි ඇමෙරිකානුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි චාල්ස් පැවසීය. කොලොම්බියානුවන් පස් දෙනෙකු පැනගොස් ඇති අතර, තිදෙනෙක් මිය ගොස් තිබේ.