හම්බන්තොට වරායේ ආයෝජන කටයුතු සිදු කිරීම සඳහාතවත් ඇමෙරිකානු ඩොලර් මිලියන එකසිය හතලිස් හයක (146) මුදලක් ආයෝජනය කිරීමට චීන සමාගමකැමැත්ත පළකර ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
අදාළ මුදල ආයෝජනය කිරීම පිළිබඳ චීන සමාගම හා ශ්‍රී ලංකා වරාය අමාත්‍යාංශය එක්ව තීරණය කරන බවත්, අදාළ මුදල HSBC බැංකුවේ තැන්පත් කර තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
ඍජු ආයෝජන සඳහා ලැබී තිබෙන මෙම මුදල වියදම් කිරීම සිදුවන්නේ ශ්‍රී ලංකා රජය හා චීන සමාගම එක්ව සකස් කරන සැලැස්මකට අනුව බවත්, ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් එම කටයුත්ත සිදුකිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට බලය පැවරීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ආයෝජන මුදලට අමතරව ඉදිරි වසර තුන තුළදී තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන හාරසියයත් -හයසියයත් අතර මුදලක් ආයෝජනය කිරීමට සූදානම් බවට දන්වා ඇතැයිද මහින්ද සමරසිංහ මහතා පවසා සිටියේය.
හම්බන්තොට වරාය බදු ලබාදීම යටතේ මේ වනවිට ලැබී තිබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 974 මහා භාණ්ඩාගාරයට ලබාදී තිබෙන බවත්, අදාළ මුදල උපයෝගී කරගෙන මහා භාණ්ඩාගාරය හම්බන්තොට වරායට ඉදි කිරීමට ලබාගෙන තිබෙන ණය සහ පොලී වාරික ගෙවීම සිදුකරන බවත් හෙතෙම කියා සිටියේය.
