සහරාන් ඇතුළු මුස්ලිම් ත්රස්තවාදීන් විසින් පාස්කු ඉරිදා ප්රහාරයක් එල්ල කරන බවට තොරතුරු තිබීයදීත් එම ත්රස්ත ප්රහාරය වළක්වා ගැනීමට ක්රියා නොකළ බවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසට එරෙහි විමර්ශන කටයුතු අවසන් බව රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්රාත් ආර්.යු. ජයසුරිය මහත්මියට අද (23) දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ උපදෙස් ලබාගැනීම සඳහා සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන ගොනු නීතිපතිවරයාට යවා ඇතැත් මේ දක්වා නීතිපති උපදෙස් ලැබී නැති බවද රහස් පොලිස් නිලධාරීහු වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්හ.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැදවනු ලැබු අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වල ප්රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ රහස් පොලිස් නිලධාරීහු වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්හ.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැදවනු ලැබු අවස්ථාවේදී මෙහි සැකකරුවන් වශයෙන් නම් කොට සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් අධිකරණයේ පෙනී සිටියහ.
මෙම පැමිණිල්ල ලබන වසරේ මාර්තු මස 17 වැනිදා යළි කැදවීමට නියම කළ මහෙස්ත්රාත්වරිය සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන වල ප්රගතිය එදින අධිකරණයට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට නියම කළාය.