ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 30 වනදා පනවන ලද හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්රකාශනය ලබන 06 වන සදුදා පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක ආඥා පනතේ 2 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළව මෙම හදිසි නීතී රෙගුලාසි පනවනු ලැබීය.
තවද පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් සැප්තැම්බර් 06 සහ 07 දෙදින පමණක් පැවැත්වීමට ද මෙහිදී තීරණය විය.
මීට ප්‍රථම ලබන 06 වන සදුදා සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබූ නමුත් මෙම තත්ත්වය හේතුවෙන් එම ප්‍රශ්න වෙනත් දිනකට යොමු කරනු ඇත.
ලබන 07 වන අගහරුවාදා දින පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 11.00 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.