තංගල්ල , හුංගම , ගුරුපොකුණ ධිවරවරායේ නවතා තුබූ බෝට්ටු 40 කට ආසන්න ප්රමාණයක් ඊයේ (25) වනදා රාත්රී 11.45 පමණ හදිසියේ ඇතිවූ ගින්නක් හේතුවෙන් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ .
ධිවර වරාය තුළ තිබු වාඩියකට ගිනි ඇවිලී ඇති බවට ලැබුණු තොරතුරකට අනුව ධිවරයින් කීපදෙනකු එම ස්ථානයට රාත්රී 12 ට පමණ පැමිණ ඇති අතර ඒ වන විටත් ගින්න පැතිරෙමින් තුබූ නිසා හුංගම පොලීසිය දැනුවත් කර තිබේ .
අනතුරුව හුංගම පොලීසියේ ස්ථානාධිපති වරයා ප්රමුඛ නිලධාරීන් හා ප්රදේශ වාසින්ගේද සහයෝගය ඇතිව ගින්න නිවීමට කටයුතු කර ඇති අතර ඒ අතර පැමිණි තංගල්ල නගර සභාවේ ගිනි නිවීමේ භටයින්ද ගිනි නිවීමේ රථ දෙකක් භාවිත කරමින් ගින්න නිවා දැමිමට කටයුතු කර තිබේ .
කෙසේ නමුත් ඒ වනවිටත් ධීවර ආම්පන්න සමග රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා බෝට්ටු 40 කට ආසන්න ප්රමාණයක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.
එමෙන්ම තවත් බෝට්ටු 10 කට පමණ හානි සිදුවී ඇති බවත් එම බෝට්ටුද ධීවර කටයුතු සදහා භාවිතා කිරිමට නොහැකි බවයි කලමැටිය ධීවර වරායේ ධීවරයින් පවසා සිටියේ .
කෙසේ නමුත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර හුංගම පොලීසිය ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර තිබේ .
හම්බන්තොට - රාහුල් සමන්ත