දිවයින පුරා පොල් වගාවට දැවැන්ත තර්ජනයක් එල්ල කර ඇති සුදු මැස්සා ගේ හානිය වැළැක්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ජෛව විද්‍යාත්මක විසඳුමක් ලෙස Encarsia guadeloupae නැමැති පරපෝෂිතයා හඳුන්වා දී තිබේ.
2019 සිට මෙරට පොල් වගාවටත් ඉන් අනතුරුව පලතුරු හා එළවළු වගාවටත් සුදු මැස්සාගේ හානිය බරපතල ලෙස සිදුවූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
ඒ අනුව සුදුමැස්සගේ හානිය පාලනය සඳහා සොබාවිකව වර්ධනය වන පරපෝෂිතයෙක් වන Encarsia guadeloupae නැමැති පරපෝෂිතයා පොල් සංවර්ධන මණ්ඩලයට හා පොල් පර්යේෂණායතනයට හඳුන්වා දීම අද දින පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදුවිය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩ සටහනට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ , කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් යන මහත්ම මහත්මීහු මෙන්ම පොල් පර්යේෂණායතනයේ නිලධාරිහු ද සහභාගි වූහ.
සුදු මැස්සා පාලනය සඳහා හඳුන්වා දී තිබෙන නව පරපෝෂිතයා හඳුනාගනු ලැබ තිබෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කීට විද්‍යාඥ අතිරේක අධ්යක්ෂ ප්‍රභාත් නිශාන්ත මහතා විසිනි.
මෙම පරපෝෂිතයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රසායනාගාර තුළ ගුණනය කිරීම මගින් නොමිලයේ ම ගොවින්ට ලබා දීමට කටයුතු සුදානම් කර ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සුදු මැස්සා පාලනය සඳහා පසුගිය කාලය තුළ බොහෝ ක්‍රියාමාර්ග ගත් නමුත් ඒ සියල්ල ප්‍රතිපල රහිත වූ බව සඳහන් කළේය.
නමුත් මෙම පරපෝෂිතයා ආශ්‍රිතව සිදු කරන ලද පර්යේෂණ නිසා පොල් වගාව තුළ පැවැති සුදුමැස්සන් ගහනය සියයට 95 සිට සියයට 05 දක්වා අවම වූ බව ද අනාවරණය විය.
මෙහිදී අදහස් පළ කළ කීට විද්‍යාඥ අතිරේක අධ්යක්ෂ ප්‍රභාත් නිශාන්ත මහතා සුදු මැස්සා පාලනය සඳහා ඉතාම හොඳම විසඳුම මෙම පරපෝෂිතයා මගින් ලැබී ඇතැයි අවධාරණය කළේය.
මෙහිදී පොල් පර්යේෂණායතනයේ නිලධාරිහු මෙන්ම කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය ද අදහස් පළ කළෝය.