ශ්‍රී ලංකා -සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්තුවේදී හෙට(17දා) පැවැත්වෙන කල්තැබීමේ විවාදයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ අදහස් දැනගැනීමට ඒකාබද්ධ විපක්ෂය කැමැත්තෙන් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය.
මේ දක්වා එම ගිවිසුම සම්බන්ධව අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වා නොමැතිබවත්,රටට හානිකර ගිවිසුමක් අත්සන් කර තිබියදී ඔහුගේ නිහඬභාවය ගැන සැක උපදවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
විශ්වවිද්‍යාල තුළ බත්පැකට්ටුවක් නොලැබුණද උද්ඝෝෂණය කරන ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය සංගම් සිංගප්පූරු ගිවිසුම සම්බන්ධ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
වත්මන් රජය රටට අහිතකර ගිවිසුම් අත්සන් කළද,තීන්දු තීරණවලට එළඹියද ජනතා විමුක්ති පෙරමුණේ නායකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා කරමින් කාලය ගත කරන බවද හෙතෙම පවසා සිටියේය.