දිවයිනේ සෑම නිවසක්ම සමූපකාර ව්‍යාපාරය සඳහා සම්බන්ධ කරමින්, එහි ප්රතිලාභ ලබා දීමට කටයුතු කරන බව, විදේශ සම්බන්ධතා, නිපුණතා සංවර්ධන, රැකිරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ 98 වන ජාත්‍යන්තර සමූපකාර දිනය නිමිත්තෙන් කොළඹ දිස්ත්‍රික් සමූපකාර සංගමය මගින් සංවිධානය කරන ලද උත්සවයකදීය. මෙම උත්සවය බත්තරමුල්ලේ සමූපකාර ශ්‍රවණාගාරයේදී පැවත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ, කොරෝනා වසංගතය පැවති සමයේ දී සමූපකාර සේවය ඉතා විශාල මෙහෙවරක යෙදුණු බවයි. ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව බෙදා හැරීම සඳහා දිවා රෑ නොබලා කටයුතු කළ බවද සඳහන් කළේය.
රාජ්‍ය ආයතනයක් ලෙස අත්‍යාවශ්‍ය සේවාවන් ඉටු කිරීමට සමූපකාර ව්‍යාපාරය සිදු කරන කාර්යයන් ජනතාව අතර තවදුරටත් ශක්තිමත්ව ගෙනයාම සඳහා ඉදිරියේදී අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවය. එමෙන්ම, සමූපකාර ව්‍යාපාරය ජනතාව අතරට ගෙනයාමේදී, සෑම නිවසක්ම ඊට සම්බන්ධව කර ගැනීමට කටයුතු කෙරේ. කොටස් වෙළඳපොල තුළ කොටස්කරුවන් සම්බන්ධ කරගන්නා සේ, සමූපකාර ව්‍යාපාරයේ කොටස් ලබා ගැනීමටද, ජනතාව උනන්දු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉදිරියේදී සමූපකාර ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවය කඩිනමින් ඉටු කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවද ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ගරු ඉසුර දේවප්‍රිය මහතා හා සමූපකාර සංගම් වල නිලධාරීන් සහභාගී විය.
