ශ්‍රී ලාංකිකයන් යන හැඟීමෙන් සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් යන සියලූ දෙනාම නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩවලට වටිනාකමක් දී ඔවුන්ගේ කර්මාන්ත වල සුරක්ෂිත භාවය ඇති කිරීම අප කාගේත් යුතුකමක් සහ වගකීමක් බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ප්‍රකාශ කරයි.
වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා මෙසේ ප්‍රකාශ කරන ලද්දේ පසුගිය (19) දින ත්‍රිකුණාමලයේ පතිනිපුරම්හි තල් කොළ ආශ්රයෙන් නිර්මාණ කරනු ලබන ශිල්පීන් අමතාය.
පතිනිපුරම් යනු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මානයකි. මෙය දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලබන ගම්මාන අතරින් එකක් වන අතර ඔවුන්ගේ ප්‍රධාන ජීවන වෘත්තිය වන්නේ වී ගොවිතැනයි. ගමේ කාන්තාවන් ස්වයං රැකියාවක් ලෙස තල් කොළ භාවිතා කරමින් මනරම් නිර්මාණයන් කරනු ලබන්නේ දහසකුත් අඩු පාඩුකම් මැද්දේය. ගමේ ප්‍රජාශාලාවට එකතුවන මේ අය තම තමන්ගේ දෑතින් සකස් කරගත් උපකරණවලින් නිර්මාණ කළත් ඒවා විකුණා ගැනීමට ස්ථානයක් ද නොමැත.
අමාත්‍ය ප්‍රසන්න රණවීර අමාත්‍යතුමාගේ මැදිහත්වීම මත මෙම ගැටලූ වලට විසදුමක් වශයෙන් කොළඹ, ත්‍රිකුණාමල පාරේ තල් කොළ ආශ්රිත නිර්මාණ වෙළඳ සැලක් විවෘත කිරීමට කටයුතු කළ අතර එම ශිල්පීන් හට රුපියල් මිලියන දෙකකට ( 2 250 275.00) වැඩි වටිනාකමින් යුත් නිෂ්පාදන උපකරණ කට්ටල ද බෙදා දීමට කටයුතු කරන ලදී.