ස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කරගෙන , කොළඹ බලා රැගෙන යෑමට ,වායු සමනය කළ බස් රථයකට ගොඩ වී,එහි අසුන් ගෙන සිටි පිටස්තර පුද්ගලයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (21) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පොදු බස් රථ ගාලේ දී අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහුට අද දින උදෑසන 7.20 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානයෙන් පැමිණි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු , මෙම ස්වර්ණාභරණ තොගය කොළඹට රැගෙන ගොස් භාර දෙන ලෙස පවසා මෙම පිටස්තර පුද්ගලයාට ලබා දී තිබේ .
ඔහු එම ස්වර්ණාභරණ තොගය තම කමිස සාක්කුවේ දමා ගෙන ගුවන් තොටුපළ බස් රථ ගාලේ නවතා තිබූ කොළඹ බලා පිටත්ව යන වායු සමනය කළ බස් රථයක අසුන් ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
එහි රුපියල් ලක්ෂ 21 ක් වටිනා ග්‍රෑම් 369 ක් බර පෙන්ඩන්ට් - 16 ක් , කරාබු - 21 ක් , මුදු - 11 ක් සහ වළලු 21 ක් මෙම ස්වර්ණාභරණ තොගය තුළ තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය .