ලන්ඩනයේ මෙට්‍රෙපොලිටන් පොලීසියේ නිලධාරියෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ සාරා එවරාඩ් නමැති 33 හැවිරිදි රූමත් තරුණියගේ මරණය සම්බන්ධයෙන් දකුණු ලන්ඩනයේදී විරෝධතාවක නිරත වූ කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම නිසා ලන්ඩන් පොලීසියට දැඩි විවේචනයක් එල්ල වී තිබේ.
ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සිටි පිරිස් ඉතා නින්දිත ආකාරයෙන් අත්අඩංගුවට ගැනීම හමුවේ පොලිස් කොමසාරිස් ඩේම් ක්රෙසීඩා ඩික් සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ලිබරල් ඩිමොක්රටික් නායක ශ්‍රීමත් එඩ් ඩේවි පැවසීය. එමෙන්ම මේ සම්බන්ධයෙන් ස්වදේශ ලේකම් ප්‍රීති පටෙල්ගෙන් වාර්තාවක්ද ඔහු ඉල්ලා සිටියේය.
පොලිස් නිලධාරීන් විසින් කාන්තාවක බිම පෙරළාගෙන ඇයට මාංචු දමා ඇදගෙන යන ආකාරය මාධ්‍යවල ප්‍රචාරය වූ අතර, බොහෝ දෙනෙකු පවසා සිටියේ පොලීසියේ මෙම ක්‍රියාව අතිශයින් කණගාටුව හා කෝපය ඇති කරවන්නක් බවය.
කෙසේ වෙතත් කොවිඩ්-19 වසංගතය හමුවේ පනවා ඇති සීමා කිරීම් නොතකා මෙම විරෝධතාව සංවිධානය වී තිබූ බව පොලීසිය පවසන අතර, මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා ඔවුන් එසේ ක්‍රියාකළ බව මෙට්‍රොපොලිටන් පොලීසිය පවසයි.
කෙසේ වෙතත් පුරුෂ හිංසනයට එරෙහිව නැගී සිටි කාන්තාවන් පුරුෂයන් විසින්ම හිංසනයට ලක්කර අත්අඩංගුවට ගැනීම ගැන මෙට්‍රොපොලිටන් පොලීසිය වෙත එල්ලවන විරෝධය ඉහළ යෑමට හේතු වී තිබේ.
මේ අතර සාරා එවරාඩ් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවට ලක්වූ මෙට්‍රොපොලිටන් පොලිස් නිලධාරියා ඊයේ (13දා) මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.
ගිනිකොනදිග එංගලන්තයේ කෙන්ට් හි පිහිටි ඔහුගේ නිවසේදී වේන් කොසෙන්ස් නමැති 48 හැවිරිදි පොලිස් නිලධාරියා අඟහරුවාදා අත්අඩංගුවට ගනු ලැබීය. සෙනසුරාදා නඩු විභාගය චෝදනාවට ලක්වූ පසු ඔහු ප්‍රථම වරට අධිකරණය හමුවට පැමිණි අවස්ථාව විය.
උසාවියේදී, කොසෙන්ස්ට එරෙහි චෝදනා ඉදිරිපත් වූ අතර, ඔහු කතා කර තිබුණේ සිය නම සහ පෞද්ගලික තොරතුරු තහවුරු කිරීම සඳහා පමණි. මාර්තු 16 වැනි දින එංගලන්තයේ සහ වේල්සයේ මධ්‍යම අපරාධ අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීය.