සියලු අමාත්‍යාංශවල වියදම් 15%කින් වහාම අඩු කරන ලෙස මුදල් අමාත්‍යාංශය සියලු අමාත්‍යවරුන්ට ලිඛිතව දැනුම් දී තිබේ.
ආණ්ඩුවේ ආදායම අඩු වීමත්, වියදම වැඩි වීමත් හේතුවෙන් මූල්‍ය අර්බුදයකට යෑම වළක්වා ගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇතැයිද මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යවරුන්ට දැනුම් දී ඇත.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18දා) දිනයේදී පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය සම්බන්ධයෙන් සියලු අමාත්‍යවරුන් දැනුවත් කර තිබේ.
මේ වනවිට අමාත්‍යාංශ ඇතුළු ආණ්ඩුවේ වියදම් ඉතා ඉහළ මට්ටමක ඇති අතර, එයට සාපේක්ෂව ආදායම් ලැබීමේ අඩුවක් පැවැතීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව මේ වසර සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජනා කළ 2019 අයවැය තුළින් වියදම් 15%කින් අඩු කිරීමට නියමිතය. මෙහිදී ආණ්ඩුව සැලසුම් කළ ඇතැම් වැඩසටහන් අත්හිටුවීමටද සිදුවන ඇති බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කළේය.
අමාත්‍යාංශ සඳහා නව මිලදී ගැනීම් ආදිය අත්හිටුවීමටත් අමාත්‍යාංශ මගින් අධික වියදමක් දරා උත්සව පැවැත්වීම ඇතුළු කටයුතු සීමාකිරීමක් සිදුවනු ඇති බවද ආණ්ඩුවේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර පසුගිය 2018 වසරේ ආණ්ඩුවේ වැඩ අවසන් කළ ව්‍යාපෘතීන් සඳහා රුපියල් බිලියන 99 ක් ගෙවීමට ඉතිරිව ඇති බවද කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.
අමාත්‍යාංශ හරහා සිදුකර ඇති විවිධ ව්‍යාපෘතීන් සඳහා ගෙවිය යුතු මුදල් නොගෙවීම තුළ මෙපමණ මුදල් ප්‍රමාණයක් ගෙවීමට ඉතිරිව ඇති බවද කැබිනට් මණ්ඩලයේදී අනාවරණය වී ඇත.
මේ හේතුවෙන් කොන්ත්‍රාත්කරුවන් ආණ්ඩුවේ ව්‍යාපෘතින් සඳහා සම්බන්ධ වීමේ මැලිකමක් දක්වන බවත් අලුත් ව්යාපෘත්න් සදහා සම්බන්ධ කරගැනීමේ දුෂ්කර තාවයක් මතුව ඇති බවත් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්ව ඇති බව වාර්තාවේ.