මීගමුව බන්ධනාගාරය තුළ සිදුවු දුෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව එහි හිටපු බන්ධනාගාර අධිකාරීවරයා, ප්‍රධාන ජේලර්වරයා ඇතුළු නිලධාරීන් සිවුදෙනාට සැඟවී සිටීමට රැකවරණය සැපයු පුද්ගලයින් කවුරුන්ද? යන්න පිළිබඳ වහාම විමර්ශනය කොට වාර්තා කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට අද (06) උපදෙස් දුන්නේය.
වරෙන්තු නිකුත් කළ කාලසීමාව තුලදී සැකකරුවන්ගේ ජංගම දුරකථන වාර්තා විශ්ලේෂණය කොට ඔවුන්ට රැකවරණය සැපයු අය සොයා ගැනීමට පියවර ගන්නා ලෙසද නීතිපතිවරයා වැඩ බලන පොලිස්පත්වරයාට උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
මීට කරුණට අමතරව තවත් කරුණු හතරක් පිළිබඳවද විමර්ශන කොට වාර්තා කරන ලෙස නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දුන් බවද නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
මීගමු බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස කටයුතු කළ අනුරුද්ධ සම්පායෝ, එහි ප්‍රධාන ජේලර්වරයා වශයෙන් කටයුතු කරන උපාලි සරත් බණ්ඩාර, වැඩබලන ජේලර් නිශාන්ත සේනාරත්න සහ දෙවැනි පෙළ ජේලර් ප්‍රසාද් කාලිංග කළුඅග්ගල නමැති නිලධාරීන් සිව්දෙනාට අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් නිකුත් කළ වරෙන්තු වහාම ක්‍රියාත්මක නොකිරීමට හේතූ ඉදිරිපත් කරන ලෙස වැඩ බලන පොලිස්පත්වරයාට උපදෙස් දී ඇති නීතිපතිවරයා මීගමුව බන්ධනාගාර අධිකාරීවරයා අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගත්තාද? නැත්නම් ඔහු පොලිසියට බාරවුණාද? යන්න පිළිබඳව වාර්තා කරන ලෙසද උපදෙස් දී ඇත.
මීගමුව බන්ධනාගාරයේ තිබී සොයා ගත් තහනම් භාණ්ඩ අතර තිබු සංවේදී ඉලෙක්ට්‍රොනික් තරාදිය භාවිතා කරමින් බන්ධනාගාර නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇද්ද? මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ආධාර අනුබල දී ඇද්ද? යන්න පිළිබඳ විමර්ශනය කොට වාර්තා කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති නීතිපතිවරයා සැකකාර නිලධාරීන්ගේ අනාවරණය වන වත්කම් අනුව ඔවුන් මුදල් විශූද්ධීකරණ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇද්ද? යන්න පිළිබඳව වාර්තා කරන ලෙසද වැඩිදුරටත් උපදෙස් දී ඇත.
