සමාජ දුරස්ථ ප්‍රතිපත්ති ඉතා ඉක්මණින් ලිහිල් කිරීමෙන් එක්සත් ජනපද ප්‍රාන්තවල වෛරසය පැතිරීමේ වක්‍රයෙහි අනාගත උච්චතම අවස්ථා සඳහා හේතුවන බවත්, ඉන් රට තුළ මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවත් මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස් අනතුරු අඟවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගේට්ස් පැවසුවේ, "රටේ සමහර ස්ථානවල මිනිසුන් මේ සමාජ දුරස්ථ ප්‍රතිපත්ති කඩාගෙන යනවා. ඔවුන් සාමාන්‍ය පරිදි හැසිරෙමින් කටයුතු කරනවා. මෙය වෛරසය පැතිරීමේ වක්‍රය අනාගතයේදී උච්චතම අවස්ථා සඳහා බොහෝ දුරට තුඩුදෙන කාරණයක්. ඒ වක්‍රය ඉහළ යෑමේ අර්ථය වෙනත් ආකාරයකින් පැවසුවොත්, අනවශ්‍ය මරණ ප්‍රමාණයක් සිදුවීමයි." යනුවෙන් අනතුරු ඇඟවීය.
"ඇතැම් විශේෂඥයන්ගේ අනාවැකිවලට අනුව ගිම්හානයේදී උණුසුම් කාලගුණය වෛරසය පැතිරීම මන්දගාමී කරන බව පවසා තිබුණත්, එය එසේ නොවුණොත්, සමාජ දුරස්ථ ප්‍රතිපත්ති නොසලකා තිබියදී තත්ත්වය වඩාත් දරුණු වේවි. ඇමෙරිකාව තුළ ඉතා වේගයෙන් යළිත් ආසාදිතයන් වැඩිවේවි. ඇමෙරිකානුවන් සම්පූර්ණයෙන් කඩා වැටේවි." යනුවෙන් බිල් ගේට්ස් වැඩිදුරටත් පවසා සිටියේය.