ඇමෙරිකාව කොරෝනා වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා නිකුත් කරනලද නිවසේ රැඳී සිටීමේ නියෝගවලට විරෝධය දැක්වීමේ උද්ඝෝෂණ මේ වනවිට රට පුරා ප්‍රාන්ත කිහිපයකම දැකිය හැකි වූ බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව ඇනපොලිස්, මේරිලන්ඩ්, ඉන්ඩියානාපොලිස්, ඉන්දියානා සහ නිව් හැම්ප්ෂයර් හි කොන්කෝඩ් යන ප්‍රාන්ත දක්වාද මෙම උද්ඝෝෂණ පැතිර ගොස් ඇති බව ඇමෙරිකාවෙන් වාර්තාවෙයි.
විශේෂයෙන්ම ඇමෙරිකාව ඉක්මනින් විවෘත කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැක්වූ අදහස් මේ ආකාරයෙන් ජනතාව උසිගැන්වීමට හේතු වී ඇති අතර, මේ හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත රජයන් විසින් සමාජ දුරස්ථකරණය වෙනුවෙන් ගනු ලැබූ තීන්දු තීරණ නොසලකා ජනතාව පාරට බැස උද්ඝෝෂණ අරඹා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි. එහිදී වෛද්‍ය ෆවුසි වැරදි බවත්, ට්‍රම්ප් හරි බවත් පවසන උද්ඝෝෂකයන්, මෙය කොරෝනාවට එරෙහි අනවශ්‍ය බියක් යැයිද පවසයි.
කෙසේ වෙතත් ඇමෙරිකාව යළි විවෘත කිරීමට නම් එරට තුළ දිනකට කොවිඩ්-19 පරීක්ෂණ මිලියන භාගයක්වත් සම්පූර්ණ කිරීමේ හැකියාවකින් යුතු විය යුතු බව එරට වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන අතර, මෙවැනි උද්ඝෝෂණ එරට තත්ත්වය තවදුරටත් දරුණු කරනු ඇති බව අවධාරණය කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදය තුළ මේ වනවිට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 735,000කට ආසන්න අතර, ලොව වැඩිම කොවිඩ්-19 මරණ සිදුව ඇති රට ලෙස එරටින් ජීවිත හානි 39,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙයි.