කරු ජයසූරිය මහතාට සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය ලබාදීමට සූදානම් බවත්, ඉදිරි දේශපාලන කටයුතු සමගි ජන බලවේගය සමග එක්ව සිදුකිරීමට ආරාධනා කරන බවත් සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු 'අද'ට පැවසීය
පෙරේදා (25දා) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු හෝ කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙකු නොවන බව සඳහන් කිරීමත් සමග සමගි ජන බලවේගයේ නායකයන් මෙම තීරණයට එළඹි බවද වාර්තා වේ.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කරු ජයසූරිය මහතාට මෙම ආරාධනය කිරීමට සූදානමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
වසර 20කට අධික දේශපාලන ගමන තුළ කරු ජයසූරිය මහතා කළ සේවය හා හිටපු කථානායකවරයා ලෙස කළ සේවය එක්සත් ජාතික පක්ෂය පසෙකලා කටයුතු කරමින් සිටින බැවින් මෙම තීරණයට එළඹි බවත්, එවන් නොකිලිටි දේශපාලන භූමිකාවක් සහිත නායකයෙකුට සමගි ජන බලවේගය විවෘත බවත් එහි ජ්‍යෙෂ්ඨ නායකයා ප්‍රකාශ කළේය.
කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාර ගැනීමට සූදානම් බවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්ද පෙරේදා (25දා) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් වී ඇති අතර, කරු ජයසූරිය මහතා එක්සත් ජාතිකපක්ෂයේ සාමාජිකයෙකු හෝ කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙකු නොවන බැවින් ඒ පිළිබඳව සලකා බැලීම ගැටලු සහගත වී ඇතැයි එක්සත් ජාතික පක්ෂය නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.