රජයේ නව දැක්ම වන සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් ඵලදායී පුරවැසියෙක් සහ සතුටින් ජීවත් වන පවුලක් ඇති කිරීම සඳහා 2020 ජනවාරි මාසයේ සිට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වඩා පුළුල් ලෙස ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පහත සඳහන් විශේෂ ක්‍රියාමාර්ග ගෙන ඇත.
දීර්ඝ කාලයක් තිස්සේ විවිධ හේතූන් මත ප්‍රමාද වී පැවති ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් 2019 ඔක්තෝම්බර් මස 29 වන දින අමාත්‍ය මණ්ඩල අණුමැතිය ලබා දී ඇත. ඒ අනුව, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ 2020.01.07 දින ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ ඉදිරි පස් අවුරුදු සැලැස්ම සකස් කිරීමේ අරමුණින් අමාත්‍යාංශ 10ක කේන්ද්‍රීය නිලධාරීන් සමග ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ආරම්භ කරන ලදි.
ඒ අනුව,2020 ජනවාරි මාසයේ සිට මේ වන විට අධිකරණ අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය යන අමාත්‍යාංශ 4 සමග පස් අවුරුදු සැලැස්ම සකස් කිරීමට අවශ්‍ය සාකච්ඡා අවසන් කරන ලදි.
එසේම, 2020 නොවැම්බර් මස අවසන් වනවිට, මෙම ළමා ආරක්ෂාව පිළිබඳ පස් අවුරුදු සැලසුම සකස් කර අවසන් කිරීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වනවිට සැලසුම් කර ඇත.
ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනත සංශෝධනය කිරීමට අවශ්‍ය අනුමැතිය අධ්යක්ෂ මණ්ඩලය ලබා දී ඇත. ඒ සඳහා නීති විශාරදයන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක දායකත්වය ලබා ගනිමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනත කාලීනව සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට කඩිනමින් සිදු කරමින් පවතී.
ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික ප්‍රතිපත්තිය සැකසීම සඳහා ජාතික විද්වත් කමිටුවක් පත් කර ප්‍රතිපත්තිය අවසන් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
එසේම ළමා අපයෝජන / ළමා සැකකරුවන් පිළිබඳ වාර්තාකරණයේදී ළමා අයිතිවාසිකම් සුරැකීම සඳහා ජනමාධ්‍යවේදීන් විසින් සැලකිලිමත් වියයුතු කරුණු පිළිබඳ සකසා ඇති ජාතික මාර්ගෝපදේශ සංග්‍රහය අවසන් කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණය වෙමින් කටයුතු සිදු කරමින් පවතී.
සිත් සවිය - ජාතික ළමා කේන්ද්‍රීය මනෝ සමාජීය සහය සේවාව කොවිඩ්-19 තත්ත්වය හමුවේ ළමයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය මනෝ සමාජීය සහාය ලබා දීමේ අරමුණෙන් ආරම්භ කරන ලදි. මේ වනවිට දීපව්‍යාප්තව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දිස්ත්‍රික් මනෝසමාජයීය නිලධාරීන්ගේ දායකත්වයෙන් උපදේශනය අවශ්‍ය මෙන්ම,මනෝ සමාජීය සහාය අවශ්‍ය ළමයින්ට මෙම සේවයෙන් සහාය ලබා දෙනු ඇත.
ළමා අපයෝජනයන්ට ලක් වන වින්දිත ළමයින් ආරක්ෂා කිරීම සඳහා වන වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ කාර්යයට අදාළව, එම කාර්යය වඩාත් කාර්යක්ෂමව සිදු කරීම සඳහා, වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක 9ක් පළාත් 9 තුළ කඩිනමින් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.
විවිධ හේතූන් මත සිය අලුත උපන් බිළිඳුන් හෝ වයස අවුරුදු 1ට අඩු ළමයින් ප්‍රතික්ෂේප කරමින් විවිධ ස්ථානයන්හී අතහැර දමා යාම වැලැක්වීම සඳහා බිළිඳුන් භාර ගැනීමේ කවුළු ( Infant receiving windows ) පළාත්9 හි ප්‍රධාන රෝහල් 9ක ළමා රෝග අංශයට අනුබද්ධව ඇති කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.
ළමා ආරක්ෂක අධිකාරියට ලැබෙන පැමිණිලි කඩිනමින් විමර්ශනය කිරීම සඳහා වැඩකටයුතු ආරම්භ කර තිබේ. ඒ යටතේ ළමා අපයෝජනය සිදු කරනු ලබන සැකකරුවන් නොපමාව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පැමිණිලි යාවත්කාලීන කිරීම හා කළමනාකරණය කිරීමේ ඩිජිටල් පද්ධතිය ( Complaint Update and Management Digital System – CUMS )ප්‍රථම වරට මේ වනවිට සකසා අවසන් කර ඇත.
එසේම සෑම පොලිස් ස්ථානයක් විසින්ම ප්‍රථම වාර්තාව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැය 24ක් ඇතුළත අනිවාර්යයෙන් යොමු කළ යුතුය. එය පදනම් කොටගෙන ළමයින් සම්බන්ධ නඩු කටයුතු නියාමනය කිරීම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රථම වරට ආරම්භ කර ඇත. එසේම, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පොලිස් පැමිණිලි යාවත්කාලීන කිරීම හා කළමනාකරණය කිරීමේ ඩිජිටල් පද්ධතිය ප්‍රථම වරට සකස් කිරීමේ කටයුතු මේ දිනවලදී සිදු කරමින් පවතී.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ළමා රැකවරණ සේවා සපයන ආයතන හා ළමා රැකවරණ සේවා අධීක්ෂණය කිරීමේ හා අවම ප්රමිතීන් ගොඩනැංවීමේ නව අධීක්ෂණ කටයුතු 10ක් ආරම්භ කර ඇත.
ළමයින්ව සියලුම ආකාරයේ අපයෝජනයන්ගෙන් සහ නොසලකා හැරීම් වලින් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත සමාජ වටපිටාවක් ගොඩනැගීම සදහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරන්තරයෙන් කැප වී සිටී.
ඕනෑම ළමා අපයෝජනයක් හෝ නොසලකා හැරීමක් ක්ෂණිකව වාර්තා කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක දුරකථන සේවය පැය 24 පුරා නොමිලයේ සේවය ලබා දෙයි. ළමයින්ට සිදුවන කවර හෝ අපයෝජනයක් සම්බන්ධයෙන් වහාම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 අංකයට දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එම පැමිණිලි සඳහා ක්ෂණික පියවර ගැනීමට ළමා ආරක්ෂක අධිකාරිය සියලු කටයුතු සූදානම් කර ඇත.