ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස දෙකක ඓතිහාසික මෙහෙයුමකින් පසුව ස්පේස්එක්ස් ඩ්‍රැගන් කැප්සියුලයෙන් පැමිණි නාසා ගගනගාමීන් දෙදෙනා නිරුපද්‍රිතව පෘථිවිය වෙත ළඟාවී තිබේ.
විශාල පැරෂුට් හතරක ආධාරයෙන් ගගනගාමීන් වන ඩග් හර්ලි සහ බොබ් බෙන්කන් රැගත් ඩ්‍රැගන් කැප්සියුලය ග්‍රිනීච් වේලාවෙන් ඊයේ (02දා) සවස 6.48ට මෙක්සිකෝ බොක්ක ආශ්රිත මුහුදට පතිත විය.
එහිදී කැප්සියුලය වතුරට වැදුණු විගස, අවට රැඳී සිටි මුදාගැනීමේ කාර්ය මණ්ඩලය විසින් කැප්සියුලය ජලයෙන් ඔසවා ගගනගාමීන් ඉන් ඉවතට ගැනීම සිදුකරන ලදී.
මෙම ගොඩබෑමට සූදානම් වීම සඳහා නාසා ආයතනය ෆ්ලොරිඩා අර්ධද්වීපය අවට ගොඩබෑමේ ස්ථාන හතක් මුලින් තෝරාගෙන තිබුණු අතර වඩාත් කැමති ස්ථානය කේප් කැනවරල් විය. නමුත් මේ සතිය මුලදී අත්ලාන්තික් සාගරයේ ඇති වූ නිවර්තන කුණාටුවකින් පසුව, කණ්ඩායම්වලට ෆ්ලොරිඩාවේ බටහිර වෙරළ තීරය වෙත අවධානය යොමු කිරීමට සිදුවිය.
යළි පෘථිවිය කරා පැමිණෙන සිය ගමන ආරම්භ කිරීම සඳහා හර්ලි සහ බොබ් සෙනසුරාදා ග්‍රිනීච් වේලාවෙන් රාත්‍රී 09:54 ට පමණ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් නික්මුණු අතර, ගගනගාමීන් දළ වශයෙන් පැය 18ක් මෙම ගමන සඳහා ගතකර තිබුණි.