ස්පුට්නික්-වී කොවිඩ්-19 මර්දන එන්නත පළමු මාත්‍රාව ලබාගෙන දින 21 සිට මාස 3ක් අතර පරතරයකින් එහි දෙවැනි මාත්‍රාව ලබාදිය හැකි බව එම එන්නත නිපදවූ රුසියාවේ ගමාලියා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ඇලෙක්සැන්ඩර් ජින්ට්ස්බර්ග් පවසයි.
හෙතෙම අවධාරණය කළේ එන්නත මගින් ඇති කරන ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයට මෙසේ කාල පරතරය මාස 3ක් දක්වා වැඩි කිරීම බල නොපාන බවත්, සමහර අවස්ථාවල එන්නතෙහි බලපෑම දීර්ඝ කිරීමට හෝ වැඩි කිරීමට පවා ඉඩ ඇති බවත්ය.
"අපගේ ගමාලියා පර්යේෂණ මධ්‍යස්ථානය විසින් නිර්මාණය කරන ලද ස්පුට්නික්-වී එන්නත සම්බන්ධයෙන්, පළමු මාත්‍රාව ගෙන දින 21 සිට මාස තුනක් දක්වා දෙවැනි මාත්‍රාව අතර අවම පරතරයක් වැඩි කළ හැකි යැයි අප විශ්වාස කරනවා. පරතරය මාස 3ක් දක්වා දීර්ඝ කිරීම එන්නත මගින් ඇති කරන ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයට බල නොපානු ඇති අතර, සමහර අවස්ථාවල එය වඩා වර්ධනය වීමටද හේතු වනු ඇති." ජින්ස්ට්බර්ග් උපුටා දක්වමින් ස්පුට්නික්-වී හි නිල වෙබ් අඩවියේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
"ජනගහනය අතර එන්නත සඳහා සුවිශේෂී ඉහළ ඉල්ලුමක් ඇති බැවින් මෙම තීරණය මගින් ප්‍රතිශක්තිකරණය සැලකිය යුතු ලෙස වේගවත් කරනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒ අනුව මාත්‍රාවන් අතර දින 21ක පරතරය රඳවා ගත යුතුද, නැතිනම් එය මාස 3ක් දක්වා දීර්ඝ කළ යුතුද යන්න තීරණය කිරීම සෑම රටකම එන්නත් නියාමකයෙකුගේම වගකීම බවද අප විශ්වාස කරනවා." ජින්ස්ට්බර්ග් වැඩිදුරටත් කිය සිටියේය.
රුසියාවේ ගමාලියා පර්යේෂණ මධ්‍යස්ථානයේ නිෂ්පාදිත ස්පුට්නික්-වී එන්නත මාත්‍රා දෙකක එන්නත් වන අතර, එහි නියම ප්‍රතිඵලය ලබාගැනීමට නම් මාත්‍රා දෙකම ලබාගත යුතු වෙයි. කෙසේ වෙතත් එම සමාගමේම නිෂ්පාදනයක් වන ස්පුට්නික්-ලයිට් එන්නත එක් මාත්‍රාවක එන්නතකි.