රුසියානු සෘජු ආයෝජන අරමුදල (RDIF) පසුගිය සති කිහිපය තුළ කොරෝනා වෛරසයට එරෙහිව සිය ස්පුට්නික් වී එන්නත මාත්‍රා මිලියන 260කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම සඳහා චීන ජෛව ඖෂධ සමාගම් තුනක් සමග ගිවිසුම් අත්සන් කර තිබේ.
මේ මාසයේ ආරම්භ කිරීමට නියමිත ස්පුට්නික් වී මාත්‍රා මිලියන 60කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම සඳහා වූ පළමු වැනි කොන්ත්‍රාත්තුව චීනයේ ෂෙන්ෂෙන් යුවාන්සිං ජීන්-ටෙක් සමාගම සමග පසුගිය මාර්තු 29 වැනි දින අත්සන් කර ඇත.
එමෙන්ම චීන ඖෂධ ක්ෂේත්රයේ ප්‍රධාන සමාගමක් ටිබෙට් රොඩියෝලා ෆාමසියුටිකල් හෝල්ඩින්, එනම් ටොප් රිජ් ෆාමා, වසරකට මාත්‍රා මිලියන 100කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම සඳහා තවත් ගිවිසුමක් අප්‍රේල් 01දා ඇති කරගෙන තිබේ.
මීට අමතරව මාත්‍රා මිලියන 100කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රධාන චීන ජෛව ඖෂධ නිෂ්පාදකයෙකු වන හුආලාන් ජීව විද්‍යාත්මක ඉංජිනේරු සමාගමේ අනුබද්ධ සමාගමක් සමග අප්‍රේල් 19 වැනි දින නවතම ගිවිසුමට එලැඹ ඇත.
මෙම ගනුදෙනු තුනම එක්ව එන්නත් මාත්‍රා මිලියන 260කට අධික ප්‍රමාණයක් නිපදවන අතර, එය ලොව පුරා මිලියන 130කට අධික ජනතාවකට සම්පූර්ණයෙන්ම එන්නත ලබාදීම සඳහා ප්‍රමාණවත් වේ.
RDIF හි ප්‍රධාන විධායක නිලධාරි කිරිල් දිමිත්‍රිව් කියා සිටියේ චීනය සමග සහයෝගයෙන් කටයුතු කිරීම නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට සැලකිය යුතු ලෙස ඉවහල් වන බවයි. මෙම ක්ෂේත්රයේ රුසියාවේ ප්‍රධාන හවුල්කාර පාර්ශ්වයක් ලෙස ඔහු චීනය හඳුන්වා දුන්නේය.
"චීනය ස්පුට්නික් වී හි ප්‍රධාන නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙනවා. රුසියානු එන්නත සඳහා වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා මෙසේ විදේශීය නිෂ්පාදකයන් සමග හවුල්කාරිත්වයේ විෂය පථය වැඩි කිරීමට අපි සූදානම්" යැයි ඔහු පැවසීය.