සීත කාලය උදාවන විට පැමිණිය හැකි නව කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ල මෙන්ම, සෘතුමය උණ හා ගංවතුර තත්ත්වයන් සඳහා සූදානම් වන ලෙස එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය හමුදාවට නියෝග කර තිබේ.
නව අවිනිශ්චිත තත්ත්වයන් සම්බන්ධයෙන් වූ සැලැස්මක් සකස් කිරීම සඳහා එරට හමුදාව එක්සත් රාජධානියේ ඒකාබද්ධ ජෛව ආරක්ෂණ මධ්‍යස්ථානය සහ රජයේ නිලධාරීන් සමග කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා උපායමාර්ග හා මෙහෙයුම් ඒකකයේ ප්‍රධානියා බදාදා පාර්ලිමේන්තුවේ මහජන සේවා කමිටුවට සාක්ෂි ලබාදෙමින් පැවසීය.
"කොරෝනා අර්බුදය තවමත් අප සමග ඉතා ස්ථිරව පවතිනවා. නියත වශයෙන්ම අපි දැන් ශීත සෘතුව දෙස බලන විට… අපට සාමාන්‍ය උණ සමය දැකිය හැකියි. ඒ වගේම අපගේ සාමාන්‍ය ගංවතුරද ඇතිවිය හැකියි" ලුතිනන් ජෙනරාල් ඩග්ලස් චාමර්ස් පැවසීය.
"ඒ නිසා ශීත සෘතුව සඳහා සූදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව අප දැඩි ලෙස සොයා බලමින් සිටිනවා. එහිදී මේ කර්තව්‍ය වෙනුවෙන් සෙසු දෙපාර්තමේන්තුවලට සහාය ලබාදීමට අප සූදානමින් සිටිනවා." ඔහු පැවසීය.
චාමර්ස් පවසන පරිදි අගෝස්තු මාසයේ අගභාගය වනවිට නව හදිසි සැලැස්මක් සකස් කරන ලෙස හමුදාවට අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නියෝග කර තිබේ.