“සජිත් ප්‍රේමදාස මහතා ටිකක් ඉවසාගෙන හිටියා නම් 2025 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා රටේ ජනාධිපති වී එක්සත් ජාතික පක්ෂ නායකයා වන්නට තිබුණා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ කාගෙවත් බුදලයක් හෝ පවුලේ දෙයක් නොවෙයි . එය ජනතාවගේ පක්ෂයක් . නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ බණ්ඩාරනායකවරුන්ගේ පක්ෂයක් . පොහොට්ටුව කියන්නේ රාජපක්ෂ වරුන්ගේ පවුලේ පක්ෂයක් .” යැයි හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
අද (09දා) මහනුවරට පැමිණ ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව ඔහු මේ බව පැවැසීය.
“අපි සිටින්නේ සජිත් පිලට ගහන්න නෙවෙයි. අපේ සටන තියෙන්නෙ ආණ්ඩුවත් සමඟයි. අද වන විට ජනතාව විශාල ප්‍රශ්න ගොඩකට මුහුණ දී සිටිනවා. දැන් රටේ ජනතාවට දේශපාලනය එපා වෙලයි තියෙන්නේ. එදා පරිසරය විනාශ කරනවා කියලා අපිට චෝදනා කළ අය අද වන විට පස් කපනවා වැලි කපනවා හෙක්ටයාර ලක්ෂ ගණනක කැලෑ එළි කරන්න හදනවා .
මැතිවරණ කිට්ටු වෙනකොට පක්ෂ ඇතුලෙ සුළු සුළු දේවල් සිද්ධ වෙනවා . එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගොස් වෙනත් පක්ෂයක් බිහි කරා. නමුත් එක්සත් ජාතික පක්ෂය විනාශ වුණේ නැහැ . අපේ සහෝදර මන්ත්‍රීවරුන් පිරිසක් වෙනත් පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව කණගාටු වෙනවා. දැන් අපිට අවස්ථාව ලැබිලා තිබෙනවා අලුත් මුහුණු පක්ෂයට එකතු කරලා පක්ෂය අලුත් කරන්න .
පක්ෂයකට විනයක් අවශ්‍යයි. පක්ෂයට විනයක් නොමැති ව රටක විනයක් හැදිය නොහැකියි. පක්ෂය කඩාගෙන ගිහින් වෙනත් පක්ෂයක් හදාගෙන ඡන්දය ඉල්ලන්නේ සිරිකොත අල්ලන්න කියනවා . සිරිකොත අල්ලන්න මැතිවරණයකට ඉදිරිපත් වෙන්න අවශ්‍ය නැහැ. රටට සේවයක් කරන්නයි මැතිවරණයකට ඉදිරිපත් විය යුත්තේ.
අපි කතා කළ යුත්තේ රුපියල් විසිදාහක් දෙන්න නෙවෙයි . අපි කතා කළ යුත්තේ රටේ ආර්ථිකය ගැන. මේ වන විට රටේ ආර්ථික අර්බුදයක් ඇති වී තිබෙනවා . මෙම අර්බුදයෙන් ගොඩ යන විදියක් ගැනයි කතා කළ යුත්තේ .
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කළා මෙවර මැතිවරණයට සන්ධානයකින් ඉදිරිපත් වීමට. ඒ අලියා ලාංඡනය යටතේ එක්සත් ජාතික පෙරමුණක් ක් වශයෙන්. නමුත් ඒ ඉතා සජිත් මහතාගේ කණ්ඩායම විරුද්ධ වුණා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයන් පක්ෂය ආරක්ෂා කරයි කියලා .
ඡන්දයෙන් පොහොට්ටුව දින්නොත් දෑත් ශක්තිමත් කරන්න සමගි ජන බලවේගයේ පිරිසක් රජයට එකතු වෙයි . නමුත් එක්සත් ජාතික පක්ෂයේ කිසිම ඩීල් එකක් නෑ.”
ෂේන් සෙනෙවිරත්න

