කොවිඩ්-19 වෛරසයට එරෙහි සීමා කිරීම් කෙටි කාලීනව කිසිදු වෙනසකට ලක් නොවන බවත්, රටක් ලෙස සම්පූර්ණයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වීම ඊළඟ වසර දක්වා සිදු නොවනු ඇති බවත් ස්කොට්ලන්ත අගමැතිනී නිකොලා ස්ටර්ජන් අනතුරු අඟවයි.
"වෛරසය සඳහා නිසැක ප්‍රතිකාරයක් හා අවසානයේ එන්නතක් ලැබෙන තුරු, සමාජ දුරස්ථභාවයන් සහ අන් අය සමග අපේ සම්බන්ධතා සීමාකිරීම ලිහිල් කිරීම දීර්ඝ කාලයක් අපේ ජීවිතයට සත්‍යයක් වේවි. ඉන් අදහස් වන්නේ මේ වසරම අපට මෙය අත්විඳීමට සිදුවේවි. සමහර විට එය ඉන් ඔබ්බටද විය හැකියි" ස්ටර්ජන් පැවසීය.
කොරෝනා වෛරසය පැතිරීම මැඬපැවැත්වීම සඳහා හඳුන්වා දුන් විවිධ පියවර ලිහිල් කළ යුතුද යන්න තීරණය කරන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම සඳහා ස්කොට්ලන්ත රජය සිය ක්‍රියා රාමුව ප්‍රකාශයට පත්කිරීමද සිදුවිය.
"අපගේ තක්සේරුව නම් සීමාවන් ලිහිල් කිරීමට දැන් සුදුසු කාලය නොවන බවයි" එරට රජයේ වැඩපිළිවෙළෙ දැක්වෙන ලියවිල්ලෙහි සඳහන් වෙයි. "ඉදිරි සති කිහිපය තුළ සාක්ෂි සහ විශේෂඥ උපදෙස් මත පදනම්ව, විකල්ප ගණනාවක් සලකා බලනු ඇති. නමුත් ඒ සියල්ල තෝරා ගැනීමක් සිදුවන්නේ නැහැ."
මත්පැන් ශාලාවල හෝ පොදු උත්සව හෝ රැස්වීම්වල ඒකරාශී වීම පිළිබඳ අනතුරු අඟවන එම ලියවිල්ල, "ඒ තහනම හෝ සීමා කිරීම් ඉදිරි කාලය සඳහා පවතිනවා" යැයි පවසයි.
යම් අවස්ථාවල ඇතැම් ක්‍රියාමාර්ග ලිහිල් කළද, එහි ප්‍රතිඵලයක් ලෙස වෛරසය පැතිරයාම නරක අතට හැරේ නම් ඒවා නැවත හඳුන්වා දීමට සිදුවන බවද අගමැතිනිය අවධාරණය කළාය.