ශ්රී ලන්කන් ගුවන් සේවය ක්රියාත්මක කරනු ලබන සීමිත ගුවන් ගමන් මෙහෙයුම් වැඩසටහන යටතේ අද (15) දින තුළ ගුවන් මගීන් 319 ක් , ගුවන් යානා 05 ක් යොදා ගනිමින් , කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ගමනාන්ත 03ක් සම්බන්ධ කර ගනිමින් ගුවන් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලැබීය .
ඒ අනුව මුලින්ම ගුවන් මගීන් 221 දෙනෙකු රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය එංගලන්තයේ ලන්ඩන් නුවර , හීත්රෝ ගුවන් තොටුපළේ සිට අද දින දහවල් 12.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
එම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් පිරිස , ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 866 දරන ගුවන් යානයෙන් අද දින සවස 3.00 ට චීනයේ ෂැංහයි නුවර වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් කර හරිනු ලැබීය .
ඉන් අනතුරුව කොරෝනා වසංගත රෝගී තත්ත්වය නිසා චීනය වෙත යෑමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ගුවන් මගීන් 35 දෙනෙකු රැගෙන , අද දින සවස 3.47 ට මාලදිවයින් ගුවන් සේවයට අයත් කිව්.2- 6940 දරන ගුවන් යානය මාලේ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඊට අමතරව තවත් එවැනිම ගුවන් මගීන් 63 දෙනෙකු රැගෙන අද දින සවස 5.00 ට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 116 දරන ගුවන් යානය ද මාලේ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් මගීන් 98 දෙනා චීනයේ ෂැංහයි නුවර බලා පිටත්ව යන චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 232 දරන ගුවන් යානයෙන් අද දින රාත්රී 8.30 රැගෙන යෑමට නියමිතය .
මේ අතර ශ්රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව ජපානයේ රැදී සිටින ශ්රී ලාංකිකයන් 237 දෙනෙකු රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානය හෙට (16) දින අලුයම 4.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය .