උදුවප් පුන් පොහෝය දිනය උදාවෙනවාත් සමගම 2018-19 ශ්‍රීපාද වන්දනා වාරය හෙට (22) සිට ආරම්භ වෙන බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති.
පැල්මඩුල්ල ගල්පොත්තාවල ශී‍්‍ර පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සධාතුක කරඩු සහ සුමන සමන් දේව ප්‍රතිමා පෙරහර තුනක් ඔස්සේ ශ්‍රී පාද මළුව කරා වැඩම කරවීම අද (21) උදෑසන සිදුවිය.
ඉන් පළමු පෙරහර අද(21) අළුයම 05.20ට පමණ පැල්මඩුල්ලෙන් පිටත්ව රත්නපුර නවනගරය, හිදැල්ලන, කුරුවිට, ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, තල්¥ව, දෙහි ඕවිට, කරවනැල්ල, යටියන්තොට, කිතුල්ගල, ගිනිගත්හේන, වටවල, හැටන්, නොර්වුඞ්, මස්කෙළිය හරහා නල්ලතන්නිය ශ්‍රී පාද බොද්ධ මධ්‍යස්ථානයට රිය පෙරහරින් ද එතැන් සිට සිරිපා මළුවට පා ගමනින්ද වැඩම කරවනු ලැබීය.
දෙවන පෙරහර පෙරවරු 06.19ට යෙදුන සුබ මොහොතින් රත්නපුර ශ්‍රී පලාබද්ගල මාර්ග හෙවත් පැරණි රජමාවත ඔස්සේ සිරිපා මලූව කරා ගමන් ගමන් ඇරඹීය. එම පෙරහර පැල්මඩුල්ල, රිල්හේන, සන්නස්ගම, ලෙල්ලොපිටිය, පතුල්පාන, බටුගෙදර, කුඩුගල්වත්ත, රත්නපුර නගරය හරහා සබරගමු මහ සමන් දේවාලය වෙත ගමන් කරයි.
තුන්වන රිය පෙරහර 21දින පෙරවරු 07.20ට පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රාජමහා විහාරස්ථානයෙන් පිටත්විය. එය, හුණුවල, ඕපනායක, ඇල්ලෙපොළ, බළන්ගොඩ හරහා ඇල්ලෙආරව හන්දිය තෙක් ගමන්කර එතැනින් මොරහැල, පින්නවල, පුඩුකාඩුව, මාරතැන්න කොටියාගල, බගවන්තලාව, නොර්වුඞ්, මස්කෙළිය හරහා නල්ලතන්නිය ශ්‍රීපාද බෞද්ධ මධ්‍යස්ථානය තෙක් ගමන් කළේය. එතැන් සිට පාගමනින් හෙට (22) අළුයම වනවිට එම පෙරහරේ වැඩම කරවු සධාතුක කරඩුව සහ සුමනදේව ප්‍රතිමාව සිරිපා මළුව වෙත වැඩම කරවයි.
පෙරහර තුනම ගමන්ගත් මාර්ගවල දෙපස රැදුන බැතිමතුන් සිය ගණනින් සුමන් සමන් දෙවියන් වෙනුවෙන් පුෂ්පෝහාර සහ පූජා වට්ටි තබමින් පදුරු පුදමින් පූජෝපහාර දැක්වීය. ඇතැම් ස්ථානවලදී හේවිස් කණ්ඩායම් යොදාගෙන හේවිසි පූජා මැද පෙරහර පිළිගැනීම ද විශේෂත්වයක් විය.
මෙවරද සිරිපා වන්දනා සමය වෙනුවෙන් මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය සීමාසහිත විජය පුවත්පත් සමාගමට අයත් ‘ලංකාදීප’, ‘අද’, ‘දේශය’ ඇතුළු පුවත්පත් විසින් සිදුකරනු ලබයි.