අධ්‍යාපන සේවාවන්ට දේශපාලන හිතවතුන් බඳවා ගැනීමට එරෙහිව අනිද්දා (04දා) සිට ක්‍රියාත්මක වන වෘත්තීය ක්‍රියාමාර්ග කඩා කප්පල් කිරීමට අධ්‍යාපන ඇමතිවරයා උත්සාහ ගනිමින් සිටින බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුව සඳහන් කරයි.
එහෙත් කුමන මර්දනකාරී කටයුත්තක් සිදුකළද පාසල් කලාප කාර්යාල, කොට්ඨාස කාර්යාල, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු එදින වසා තබන බව ගුරු, විදුහල්පති, අධ්‍යයන පරිපාලන සේවා වෘත්තීය සංගම් සඳහන් කරති.
මීට අමතරව ගුරු විද්‍යාල ගුරු මධ්‍යස්ථාන කටුයුතුවලින්ද ඉවත්වන බවත්, අධ්‍යාපන පරිපාලන සේවා සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නීල් අතුකොරළ මහතා අද (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
අධ්‍යාපන ඇමැතිවරයා සිදුකළ යුත්තේ දේශපාලන හිතවතුන්ට විදුහල්පති තනතුරු, ගුරු, අධ්‍යාපනඥ සේවයේ හා අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු ලබාදීමට සිදුකරන සැලසුම් අවලංගු කිරීම බවද ගුරු හා විදුහල්පති සංගම් නියෝජිතයෝ එහිදී පවසා සිටියහ.
