විශ්‍රාම ගිය හෙදියන් සේවයට කැඳවීමට යයි
විශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාව අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින අරලියගහ මන්දිරයේ දී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දුන්නේය.
හෙද සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දිවයින පුරා හෙද හෙදියන් 34000ක් පමණ මේ වනවිට සේවයේ නිරතව සිටින අතර ඔවුන් දැනට මුහුණ පා ඇති ගැටලුවලට කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් සහ යෝජනා සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ වී තිබිණි.
මෙහිදී හෙද හෙදියන්ට ලබා දෙන දීමනා සහ පහසුකම් ඉහළ දැමීම සම්බන්ධයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ අදහස් පළ කළහ.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය හා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩි සත්කාර ඒකකයට නුපුහුණු හෙදියන් යොදා ගැනීම සම්බන්ධයෙන් ද උන්වහන්සේ මෙහි දී පෙන්වා දුන්හ.
සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් දැනට වසරකට පුහුණුව සඳහා බඳවා ගන්නේ හෙද හෙදියන් 2000ක් තරම් අඩු පිරිසක් නිසා මෙම තත්ත්වය උද්ගතවී ඇති බව පෙන්වා දුන්නාය.

දැනට එම ඒකකවල සේවය කරන නුපුහුණු හෙද හෙදියන්ව අදාළ ඒකකවල කටයුතු කරන කාලය ද පුහුණු කාලයට එක් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී උපදෙස් දුන්නේය.
ඊට අමතරව දැඩි සත්කාර ඒකක සේවයට කෙටි කාලීන පුහුණු වැඩසටහන් හඳුන්වා දෙන්නැයි ද අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේය. එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.එච් මුණසිංහ මහතා, දැනටමත් හෙද හෙදියන් 840 දෙනෙකුට දැඩි සත්කාර ඒකක සේවා සම්බන්ධයෙන් කෙටි කාලීන පුහුණුවක් දී ඇති බවත් තවත් 1000කට ආසන්න පිරිසකට කඩිනම් පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් කියා සිටියේය.
විශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාව අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නැයි සෞඛ්‍ය ඇමතිතුමියට මෙහිදී දැනුම් දුන් අග්‍රාමාත්‍යතුමා, හෙද හෙදියන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ කාර්යයේ වත්මන් තත්ත්වය විමසා සිටියේය.
හෙද හෙදියන්ගේ සේවා කාලය වසර 63ක් දක්වා දීර්ඝ කිරීමේ අමාත්‍ය මණ්ඩල සංදේශය මේ වනවිට කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.එච් මුණසිංහ මහතා මෙහි දී අනාවරණය කළේය.
සෞඛ්‍ය ක්ෂේත්රයේ සියලුම දෙනාට පාහේ මේ වනවිට කොවිඩ් එන්නත් ලබා දී ඇති අතර ඒ අයගේ පවුල්වල සාමාජිකයන්ට දෙවැනි මාත්‍රාව ලබා දීම මේ වනවිට ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය එස්.එච් මුණසිංහ මහතා මෙහිදී පැවැසීය.
සංචරණ කාල සීමාව තුළ හෙද හෙදියන්ගේ ප්‍රවාහන පහසුකම් සැලසීමේ නිසි ක්‍රමවේදයක් සකස් කරන්නැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී නිලධාරින්ට උපදෙස් දුන්නේය.
හෙද උපාධිය ලබා දීමේ කාර්යය කඩිනම් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ද අග්‍රාමාත්‍යතුමා, සෞඛ්‍ය ඇමතිතුමියට දැන්නුවේය.
මේ වනවිට හෙද උපාධිය ලබා දීමේ කාර්යය නීති කෙටුම්පත් සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව මෙම හමුවේ දී හෙළි වූ අතර අදාළ කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මෙහි දී තීරණය විය.
අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයා ලෙස සිටි සමයේ දී හෙද හෙදියන්ගේ නිල ඇඳුම් දීමනාව ඉහළ දැමූ පසු මේ දක්වා එම දීමනාව වැඩිකර නැතැයි කී මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ, එම දීමනාව වැඩි කර දෙන්නැයි ඉල්ලා සිටියහ. ඒ සම්බන්ධයෙන් පොදු තීන්දුවක් ගෙන ඉදිරි අය-වැය තුළින් එය ඉටු කර දිය හැකි බව අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
popular news
-
P H G විමල් නන්දසිරි Wednesday, 09 June 2021 09:44 PM
මගේ අදහස අනුව අපේ රටට මෙි තරමිම කොරෝනා වෛරසය දිනෙ දින වර්දනය වන්නේ රටෙි ජනතාවගේ දරිද්‍රතාවය ත් සම හරැන් නීතගරැක නොවීමත් ඇතිදෙ නැතිවිදියට සමහර මාධ්‍ය තුලින් සහ විරැද්දවාදි දේශපාලකයන්ගේත් නොමනා කුුියාකලාප නිසා අද මුලුරටම මහා කේදනීය තත්වයට පත්වීම හරිම කනගාටුයි ඒනිසා පවතින රජයට බැනවැදී මෙන් පලක්නොවන අතර මෙි කොරෝනා වෛරසය මුලු ලොවට ම බලපා ඇතිදෙයක් නිසා සියලුම දෙනාගෙ වගවීම මෙි උවදුරෙන් ඉක්මනට නිදහස්විම තම තමන්ගේ වගකීම හරිහැටි ඉටුකරන්න සියලුම දෙනාටම නීරෝගි ජීවයක් ලැබෙිවා ස්තුතියි මම විමල් ඉතාලිය ආදරනීය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

