කෑගල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් ව්‍යවසායකයන් දහසක් සඳහා රුපියල් ලක්ෂ සියයක වටිනාකමකින් යුත් උපකරණ බෙදාදීම හා ආබාධිත පුද්ගලයන්ට රෝද පුටු බෙදාදීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,
“යහපාලන ආණ්ඩුව දිනවන්න එදා මමත් මගේ පක්ෂයත් ගොඩක් මහන්සි ගත්තා. නමුත් දැන් දැන් සිදුවෙන සමහර දේවල් ගැන දකිනකොට අපට හිතෙනවා මේ දෙන්න තම තමගේ පක්ෂ ගැන හිතන තරමට රට ගැන හිතනවද කියලා. අද සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික කියල භේදයක් ඇති කර සමහර ඩයස් පෝරා ලංකාවේ ඉන්න සමහර කොන්ත්‍රාත් කාරයන්ට මුදල් ලබාදී මේ රට තුළ ජාතීන් වශයෙන් ගැටුම් ඇති කර අපේ රටේ සම්පත් විනාශ කරල රට ආර්ථික වශයෙන් විනාශ කරන්න උත්සාහ දරනවා.
මේ අතර අද සමහරු මටත් මගේ සමාජයටත් චෝදනා කරනවා අපි විල්පත්තු කැලේ කපල විනාශ කර වෙනත් පළාත්වල ඉන්න මුස්ලම් ජනතාව ගෙනල්ල බලෙන් ගෙවල් හදල පදිංචි කරනවා කියල. විල්පත්තු අභය භූමිය තුළ එක බිම් අඟලක් හරි අපි විනාශ කරල තියෙනව නම් හෝ මුස්ලිම් ජනතාව ගෙනල්ල පදිංචි කරල ඇති බවට ඔප්පු කර පෙන්නන්න මම ඒ කියන අයට අභියෝග කරනවා. එසේ ඔප්පු කර පෙන්වුවහොත් ඒ සියලු දෙනා ඒ තැන්වලින් ඉවත් කරන්නත් අපි ඒ වෙනුවෙන් දෙන ඕන දඬුවමක් විඳින්නත් සූදානම්.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත් දැනුම් දුන්නා. මේ රට තුළ මටත් මගේ සමාජයටත් වැරදි චෝදනා එල්ලවෙමින් තියෙනවා. ඒ වෙනුවෙන් වෙනම කොමිසමක් හරි පත් කර මේකෙ සත්‍යතාව හොයල අපේ වරදක් තියෙනව නම් ඒ වෙනුවෙන් මට හෝ මගේ සමාජයට ඕන දඬුවමක් ලබා දෙන්න කියලා.
පසුව ජනාධිපතිවරයා ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාගේ නායකත්වයෙන් ඒ වෙනුවෙන් කොමිසමක් පත් කළා. ඒ වාර්තාව අපි ජනාධිපතිවරයාට භාර දුන්නා. නමුත් අද වෙනකොටත් ඒ වාර්තාව එළියට ආවේ නැහැ. එය එළියට ආවනම් දැනගන්න තිබුණා මේ කියන කතාවේ ඇත්ත නැත්ත. එම නිසා මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරල ඒ වාර්තාව එළියට දාන්න කියලා.
ඒ නිසා මම ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට කියනවා ගිය ආණ්ඩුව කරපු වරද ඔබ දෙදෙනා කරන්න එපා කියලා. අහිංසක ජනතාවගේ ආර්ථිකය විනාශ කරන්න එපා කියලා. ඒ වගේම රටේ තියෙන සම්පත් ආරක්ෂා කර මේ රට හදන්න නායකයො දෙන්න එකට වාඩිවෙලා කටයුතු කරන්න කියා ඉල්ලා සිටිනවා.
ඒ සඳහා ඒ ඒ පක්ෂ තුළ තියෙන ගැටලු පැත්තකින් තියල තවත් ඉදිරි මාස 18 තුළ ජනතාව ඔබ දෙදෙනාට දුන්න ජන වරම ඉටු කරන් ලෙස ඉල්ලා සිටිනවා. නැත්නම් ඔබ දෙපළටම ඊළඟ මැතිවරණයේදී මේ රටේ ජනතාව හොඳ පාඩමක් උගන්වයි. අපි පක්ෂයක් හැදුවේ රට බෙදන්නවත් ජාතීන් අතර ප්‍රශ්න ඇති කරන්න නෙවෙයි.”
වරකාපොල රංගන රුවන්
