කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා විල්පත්තු පරිවාර රක්ෂිතයක් වන මුලිලිකුලම් රක්ෂිතයෙන් අක්කර 75ක ප්‍රමාණයක් කර්මාන්ත පුරයක් ඉදි කිරීම වෙනුවෙන් ඉල්ලා ඇතැයි පරිසර සංවිධාන සඳහන් කරයි.
පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඳහන් කළේ එම ඉඩම් නිදහස් කර ගැනීමට අදාළ නිර්දේශ ජනපති ලේකම් කාර්යාලය විසින් වන රක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බවයි.
“අපට පුළුවන් වුණා ජනපතිතුමා දැනුවත් කරලා අක්කර 100000ක් රක්ෂිත වනාන්තර ලෙස ගැසට් කරන්න. ඒ භූමියේ යම් ප්‍රදේශ සමහරක් තැන් රිෂාඩ් බද්යුදීන් අමාත්‍යවරයාට සම්බන්ධ පිරිස්වල ග්‍රහණයට ලක්ව තිබෙනවා.
ඒතුමා දැන් විල්පත්තුවේ මුල්ලිකුලම් ගම්මානය ආශිතව ඇති රක්ෂිත වනාන්තර පද්ධතිය ඇතුලේ අක්කර 75කට ආසන්න ප්‍රමාණයක් වෙන්කරගෙන තිබෙනවා කර්මාන්ත පුරයකට.
මේ කර්මාන්ත පුරයට ගාමන්ට් ඇතුළත් වෙලා තිබෙනවා. මේ කර්මාන්ත මේ ඝන වනාන්තරයට සුදුසුද කියලවත් අඩුම ගණනනේ හොයලා බලන්නේ නෑ කර්මාන්ත අමාත්‍යාංශය.
ඊට අදාළ ව්‍යාපෘතිය දැන් දියත් කර තිබෙනවා. ජනපති ලේකම් කාර්යාලයේ තිබෙන උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කර ගැනීමේ කමිටුවට මොහු දන්වා තිබෙනවා ඉඩම් ටික නිදහස් කරන්න කියලා.
මේ කමිටුවෙන් නිර්දේශ යවලා තිබෙනවා වන රක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩම් ටික නිදහස් කරලා දෙන්න කියලා. අපේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග තිබෙනවා වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ මේ ඉඩම් නිදහස් කර ගැනීමට අදාළ මැනුම් කටයුතු සිදුකරනවා.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බොහෝ නිලධාරීන් පැහැදිලි කරනවා නිදහස්ව තිබෙන ඉඩම් මන්නාරමේ තිබෙනවා ඕන තරම්. සිලාවතුරෙන් එහා පැත්තේ ඕන තරම් තිබෙනවා.
හැබැයි මොහු ගෙනල්ලා වනාන්තර පද්ධතිය ඇතුළෙම කර්මාන්ත හදන්නේ මේක මහ අවාසනාවන්ත තත්ත්වයක්”
