ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදි සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවක සිටි බවට චෝදනා ලැබු හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව නඩුවේ විභාගය ලබන වසරේ ජනවාරි මස 27 වැනිදා පැවැත්විමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (27) නියම කළේය.
2009 වසරේ සිට 2014 වසර දක්වා වු වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බවට චෝදනා කරමින් පවරා ඇති මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී කැබිනට් රැස්විමට සහභාගී වන බව පවසමින් අමාත්‍ය විමල් විරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නඩුව කල් තැබිමට විනිසුරුවරයා නියම කළේය.
2009 ජනවාරි මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළදී සිය නීත්‍යානුකූල වත්කම් හා ලැබීම් වලින් උපයාගත නොහැකි රුපියල් 744,80,017/- මුදල් හා දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ අල්ලස් වලින් බවත් අධිචෝදනා පත්‍රයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.
මුදල් උපයාගෙන ඇති ආකාරය හා දේපළ උපයාගෙන ඇති ආකාරය දැක්වෙන උපගොනු දෙකක්ද අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ අධිචෝදනා පත්‍රය සමඟ අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව ලබන වසරේ ජනවාරී මස 27 වැනිදා කැඳවිමට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් සහකාර අධ්යක්ෂ ජනරාල් නීතිඥ සුනේත්‍රා ජයසිංහ මහත්මිය සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය පෙනී සිටියාය.
විත්තිකරු වෙනුවෙන් නීතිඥවරු කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා පෙනී සිටියේය.
