මැතිවරණ කොමිසම සහ එහි සභාපතිවරයා දේශපාලනයේ නිරත බවත්, පසුගිය රජය සමඟ දේශපාලනය කරන බවටත් අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය, ආණ්ඩුවේ හා ජනාධිපතිවරයාගේ නිල මතය ද? යන්න පිළිබඳ ප්‍රකාශයට පත් කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටින්නේ, මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ මොහොතක මැතිවරණ කොමිසම ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නිර්ණායකයන් ක්‍රියාවට නැංවීම එක් එක් දේශපාලන අපේක්ෂාවන්ට සමගාමීව සිදු කළ හැක්කක් නොවන බවයි.
සියලුම ප්රජාතන්ත්රවාදීන් හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මේ මොහොතේ මෙයට එරෙහි විය යුතු බවත්, පාර්ලිමේන්තුව කැඳවීම ද අවහිර කරමින් මැතිවරණය පැවැත්වීම ද තමාට අවශ්‍ය පරිදි සිදු කරවීමට දරන උත්සහායටත් එරෙහි විය යුතු බවත් ඔහු කියා සිටියේය.
විමල් වීරවංශ මහතාගේ මෙම ප්‍රකාශය ජනාධිපතිවරයා අනුමත කරන්නේද? රජය අනුමත කරන්නේද? එය ආණ්ඩුවේ නිල මතයද? යන්න වහාම ආණ්ඩුව විසින් පැහැදිලි කළ යුතු බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය වෙනුවෙන් සමගි ජන බලවේගය අඛණ්ඩව කැපවෙන බව ද ඒ මහතා කියා සිටියේය.
