කොටි ත්රස්තවාදයට උඩගෙඩි දෙන විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.
විජයකලාගේ ප්‍රකාශයෙන් හෙළිදරව් වන්නේ ආණ්ඩුවේ කොටි හිතවාදී ප්‍රතිපත්තිය බවත්, දෙමළ ජනතාවගේ තුන් හිතකවත් නැති ඊළාම් සිහින දකින මෙවැනි මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් පමණක් නොව රටින්ද පිටුවහල් කළ යුතු බවත් හෙතෙම මෙහිදී පැවසීය.
ඒ මහතා මේ බව පැවසූයේ මිනුවන්ගොඩ උඩුගම්පොළ ප්‍රදේශයේදී අද (03දා) පැවැති ජනහමුවක් අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළකළ ප්‍රසන්න රණතුංග මහතා,
“ජනාධිපතිවරයා මේ ගැන වහාම පියවරක් ගත යුතුයි. මම හිතන්නේ නැහැ ජනාධිපතිවරයා තවම මේ ගැන දන්නවා කියලා. මොකද එතුමා හැමදේම දැනගන්නේ පත්තරෙන්නේ. ඒ හින්දා අපේ කතා පත්තරෙන් හරි කියවලා සිරිසේන මහත්තයෝ මේ ඊළාම් නෝනව ආණ්ඩුවෙන් එළවලා දාන්න.
පහුගිය දවස්වල උතුරේ ප්‍රදේශ කිහිපයකම කොටි ආයුධ හමු වුණා. ආණ්ඩුව ඒවා යට ගහලා කොටි හිතවාදීන්ට සුදු හුණු ගෑවා. අපිට බරපතළ සැකයක් තියෙනවා මේ කොටි හිතවාදීන් සංවිධානය වෙන්නේ විජයකලා නෝනාගේ අනුදැනුම මතද කියලා. මේ ගැන වහාම රහස් පොලිස් විමර්ශනයක් පැවැත්විය යුතුයි.
එහෙම නැතුව දකුණේ ජනතාව නිකරුණේ බනිනවා කියලා සිරිසේන මහත්තයාට දුක හිතිලා උතුරට ගිහින් විජයකලා නෝනාව සනසලා ආවට වැඩක් නැහැ. අපි දොස් කියන්නේ සාධාරණ හේතු ඇතිවයි. වහාම මේ කොටි හිතවාදිනිය ගැන ඉහළම මට්ටමෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
ඊයේ විජයකලා ඇමැතිවරියගේ කටින් එළියට පැන්නේ ආණ්ඩුව දීලා තියෙන පොරොන්දුවම බව පැහැදිලියි. ආණ්ඩුවේ ඇමැතිවරියක් කැබිනට් ඇමැතිවරුනුත් දෙන්නෙක්ම ළඟ තියාගෙන, ‘ජනපති නිල මෙහෙවර’ රාජ්‍ය උත්සවයේදී කොටි ත්‍රස්තවාදය නැවත අවශ්‍යයයි කියලා කියනවා නම් ආණ්ඩුවේ කොටි හිතවාදීත්වය ගැන වෙනත් සාක්ෂි උවමනා නැහැ.
හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම රට බෙදන්න ඉඩ දෙන්නේ නැහැ කියලා දිවුරුම් දෙනවා. එතකොට කොහොමද විජයකලා නෝනා ඊළමක් පිහිටුවන්න කතා කරන්නේ? මම අහනවා වජිර අබේවර්ධන, තිලක් මාරපන මහත්වරුන්ගෙන් කොන්දක් කියලා නාමයක්වත් තමුන්නැහෙලට නැද්ද කියලා. කොන්දක් තියෙනවා නම් ඒ ප්‍රකාශයට විරෝධය පාලා රැස්වීමෙන් නැගිටලා එන්න තිබුණා.
ඒ වගේම මේ නෝනා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක් නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයට පුළුවන් පක්ෂයෙනුත් ඇයව එලවලා දාන්න. මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් අපි කොටි පැරැද්දුවේ ආයෙත් නැගිටින්න පුළුවන් විදියට නෙමෙයි. හැබැයි ආණ්ඩුවේ කොන්ද පණ නැතිකම නිසා දැන් මැරුණු කොටිත් නැගිටින්න අරගෙන.” යැයි පැවසූවේය.
