වාරියපොළ බන්ධනාගාරයේ අපජලය පිට කරන මාර්ගය උපයෝගී කරගෙන එම බන්ධනාගාරය තුළට ඉතා සූක්ෂ්ම ආකාරයට හෙරොයින් මත් ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධි භාණ්ඩ තොගයක් යැවීමට උත්සාහ කළ තරුණයෙකු වැල්ලව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (15දා) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු විසිපස් හැවිරිදි සැකකරු මැල්සිරිපුර පන්සියගම පදිංචිකරුවෙකි. වැල්ලව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසූරිය මහතාට ලද තොරතුරකට අනුව ගනේවත්ත දුම්රිය ස්ථානය අසළදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
පොලීසියට හසු නොවී පැන යාමට උත්සාහ දරා ඇති සැකකරු මෙල්ල කිරීමට යාමේදී සැකකරු විසින් එල්ල කරන ලද පිහි පහරකින් වැටලීමට සහභාගි වූ පොලිස් නිලධාරියෙකුද තුවාල ලබා ඇත .
එම අවස්ථාවෙිදි සැකකරු ළඟ තිබී හෙරොයින් මත් කුඩු මිලිග්‍රෑම් 2500 ක ප්‍රමාණයක් , ජංගම දුරකථන 5 ක් සමග ඒවායේ බැටරි සහ චාජර, දුම්කොළ 20 ක්, ගල් අරක්කු බෝතලයක් සහ තහනම් පිහියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මේවාට අමතරව සැකකරු පැමිණි වටිනා යතුරුපැදියක්ද පොලීසිය බාරයට ගෙන තිබේ .
පොලිස් ප්‍රශ්න කිරීම් වලදී සැකකරු පවසා ඇත්තේ දිගු කලක සිට වාරියපොළ බන්ධනාගාරය තුළ සිටින සිරකරුවන්ට මෙවැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සැපයීමෙහි නිරතව සිටින බවය . මේ සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය ලැබෙන බවද සැකකරු ප්‍රකාශ කර ඇත .
ජලයෙන් නොතෙමෙන ආකාරයට පොලිතීන් කවර වල බහා මෙම තහනම් ද්‍රව්‍ය බන්ධනාගාරයේ අපජල මාර්ගයට දමන බවද බන්ධනාගාරයේ එළිමහන් ප්‍රදේශය නිරීක්ෂණය සදහා යොදවන නිලධාරීන් විසින් අපජල මාර්ගයට දමන එම ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට රැගෙන යාම සිදු කරන බවද සැකකරු සඳහන් කළ බව පොලීසිය කියයි.
පොලීසිය පවසන්නේ මත්පැන් බෝතල් පවා පොලිතීන් උරවල බහා මේ ආකාරයට බන්ධනාගාරය තුළට යවා ඇති බවය.
මේ දිනවල රට පුරා පිහිටි බන්ධනාගාරවල සිදු කරන හදිසි සෝදිසි මෙහෙයුම් හේතුවෙන් හෙරොයින් ජංගම දුරකථන ආදිය බන්ධනාගාර තුළ හිඟව පවතින බැවින් මේ ආකාරයට යවන ද්‍රව්‍ය සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බවද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත .