එක්සත් ජනපදයේ වසංගතය යහපත් අතට හැරීමට පෙර එය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.
එක්සත් ජනපදයේ ධවල මන්දිරය මගින් සංවිධානය කර පසුව අත්හැර දැමුණු කොවිඩ්-19 වෛරසය පිළිබඳ දෛනික යාවත්කාලීන තොරතුරු රැගත් මාධ්‍ය හමුව යළිත් ආරම්භ කරමින් ට්‍රම්ප් මෙම අදහස් පළ කළේය. කෙසේ වෙතත් එරට ප්‍රධාන බෝනොවන රෝග විද්‍යාඥ ඇන්තනී ෆවුසි එහි දැකගත නොහැකි විය. වෛද්‍ය ෆවුසි ඉදිරිපත් කරන විද්‍යාත්මක සාක්ෂි සමග ට්‍රම්ප්ගේ හිතලු ගැටීම මීට හේතු වී ඇති බව විශ්වාස කෙරෙයි.
"අපේ රටේ සමහර ප්‍රදේශ ඉතා හොඳින් තත්ත්වය පාලනය කරනවා. අනෙක් ඒවා හොඳ මට්ටමක පවතිනවා." යැයි ජනාධිපතිවරයා පැවසීය. "අවාසනාවකට මෙන්, එය යහපත් වීමට පෙර එය නරක අතට හැරෙනු ඇති. මම මෙවැනි දේවල් ගැන කීමට අකැමැතියි, නමුත් එය එසේ සිදුවේවි."
"ඔබට ලොව පුරා බැලූ බැල්මට, එය ලොව පුරා තියෙනවා" ට්‍රම්ප් ඇමෙරිකාවේ ඇතිවී තිබෙන ඛේදවාචකය යටපත් කිරීමට ලෝකය උදාහරණයට ගනිමින් කීවේය.
වසංගතය පුරාවට ජනාධිපතිවරයා නිරන්තරයෙන් සුබවාදී ස්වරයෙන් කතා කළ අතර, ඔහු මෙවරද සඳහන් කළේ වෛරසය පහව යනු ඇති බවයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 39ක් ආසන්නයට පැමිණ ඇති අතර, එරට වෛරසය ආසාදිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 142,000ක සීමාවේ පවතී.