කොරෝනා වෛරසයේ මූලාරම්භය ගැන චීනයේදී සැබෑ පරීක්ෂණයක් ඉල්ලමින් වොෂිංටනය විසින් කරන ලද නව ඉල්ලීම් පිළිබඳව සැක කිරීමට බීජිං පාලනයට වඩාත් පැහැදිලි හේතු පවතින බව ප්රජාතන්ත්රවාදී හා සාධාරණ ජාත්‍යන්තර පිළිවෙතක් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ හිටපු ස්වාධීන විශේෂඥයෙකු වු ඇල්ෆ්‍රඩ් ද සයාස් පවසයි.
රුසියානු මාධ්‍ය ආයතනයක් සමග මෑතකදී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී මෙම විශේෂඥයා අවධාරණය කර සිටියේ, ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරන ආකාරයේ ස්වාධීන පරීක්ෂණ යනු බොරදියේ මාළු බෑම් සහ හුදෙක් දොස් පවරන ක්‍රීඩා බවට පත්ව ඇති ආකාරය තමා දැක ඇති බවයි.
පසුගිය ජුනි 20 වැනි දින එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් විසින්, චීනය තම භූමියේ වෛරසයේ මූලාරම්භය පිළිබඳව සැබෑ විමර්ශනයකට ඉඩ ලබාදීමට අපොහොසත් වුවහොත් චීනය ජාත්‍යන්තරව හුදකලා කරන බවට තර්ජනාත්මක නිවේදනයක් කළේය.
සුලිවන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් පසුගිය 21දා කියා සිටියේ කොරෝනා වෛරසයේ මූලාරම්භය පිළිබඳ ඇමෙරිකාව පවසන ආකාරයේ විමර්ශනයට බීජිං පාලනය සහයෝගය නොදක්වන බවයි. ෂාවෝ අවධාරණය කළේ, සුලිවන්ගේ ප්‍රකාශය චීන විරෝධයක් මතු කරන සහ කිසිවෙකු නොපිළිගන්නා අමූලික තර්ජනයකට වඩා දෙයක් නොවන බවයි.
වෛරසයේ මූලාරම්භය පිළිබඳ නව ජාත්‍යන්තර පරීක්ෂණයක් සැබවින්ම විෂය මූලික විය යුතු අතර, එය වූහාන් හි වෛරසය පැතිරයාම පිළිබඳව පමණක් නොව, 2019 දී ලෝකයේ වෙනත් තැන්වල වෛරසය ඇති බවට වාර්තා වී ඇති සියලුම සිද්ධීන් පිළිබඳව සොයා බැලිය යුතු විමර්ශනයක් විය යුතු බවද සයාස් පැවසීය.
"එක්සත් ජනපදයට අවශ්‍ය වන්නේ කොවිඩ්-19 අර්බුදය තමන් විසින්ම කළමනාකරණය කර ගැනීමෙන් අවධානය වෙනතකට යොමු කිරීමටයි. වර්තමානයේ එක්සත් ජනපදයට මෙවැනි චෝදනාවක් නැගීමට කිසිදු සාක්ෂියක් නැහැ. ඔවුන් මුල සිටම ගෙනහැර පෑවේ සැකය සහ කුමන්ත්‍රණ න්‍යායන් පමණයි" ඔහු තවදුරටත් පැවසීය.
චීනයේ කොවිඩ්-19 හි මූලාරම්භය පිළිබඳව ඇත්ත වශයෙන්ම නව ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය දැයි විමසූ විට විශේෂඥයා අවධාරණය කළේ, " මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වුහාන්හි වෛරසය පැතිර යාමට පෙර, කොරෝනා වෛරසය ඉතාලියේ, ප්‍රංශයේ සහ එක්සත් ජනපදයේ හඳුනාගෙන ඇති බවට ඕනෑ තරම් සාක්ෂි පවතිනවා" යනුවෙනි.