නව කොරෝනා වෛරස වසංගතය අතරතුර කැනඩාවේ වැඩිහිටියන් විශාල පිරිසක් ජීවත් වන සාත්තු නිවාසවල තත්ත්වය දැක්වෙන වාර්තාවකින් තමා පුදුමයට පත්වූ බව කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ පවසයි.
මෙම සාත්තු නිවාස ආශ්‍රිතව වෛරසය ආසාදනය වීම් හා මරණ වැඩි වශයෙන් වාර්තා වීමත් සමග ඔවුන්ගේ ජීවන පහසුකම් සඳහා උපකාර කිරීමට කැනඩාව හමුදාව කැඳවීය. එහිදී හමුදාව විසින් එම ස්ථාන සම්බන්ධයෙන් අගමැතිවරයාට ලබාදී තිබූ වාර්තාව මෙසේ අගමැතිවරයා දැඩි කම්පාවකට පත්කර තිබේ.
"මම ඊයේ වාර්තාව සම්පුර්ණයෙන්ම කියෙව්වා. අපි එය සති අන්තයේ ඔන්ටාරියෝ පළාත් රජය වෙතද ලබාදුන්නා. එය අතිශයින්ම කනස්සල්ලට කරුණක්" යැයි ටෘඩෝ දිනපතා ප්රවෘත්ති සාකච්ඡාවේදී ඊයේ (26දා) කියා සිටියේය.
"එහි අතිශයින්ම පීඩාකාරී දේ බොහෝයි. අප ඒ සඳහා පියවර ගත යුතුයි. ඔන්ටාරියෝ පළාත විසින් වඩාත් නිශ්චිත තොරතුරු පසුව නිකුත් කරනු ඇතැයි මා විශ්වාස කරනවා." අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව මේ වනවිට කැනඩාව ආශ්‍රිතව කොවිඩ් -19 මරණ 6,753ක් වාර්තා වන අතර, සමස්ත ආසාදිත අගය 88,090කි. කැනඩාව මෑතකදී චීනයේ සමස්ත ආසාදිත අගයද පසු කර ගියේය.
කැනඩා සෞඛ්‍ය සේවයට අනුව, රටේ සිදුවන කොරෝනා මරණවලින් 80% කට ආසන්න ප්‍රමාණයක් වැඩිහිටියන් සඳහා දිගු කාලීන සත්කාර ආයතන හා සම්බන්ධ බව හෙළි වී ඇත.
දිගු කාලීන සත්කාරක ආයතනවල කොවිඩ් -19 පැතිර යාම නරක අතට හැරීම සහ කාර්ය මණ්ඩල හිඟය දිගටම පැවතීම නිසා ඔන්ටාරියෝ සහ ක්විබෙක් යන නගර දෙකෙහිම සාත්තු නිවාස විසින් කැනේඩියානු හමුදාවෙන් උදව් ඉල්ලා තිබුණි.