ඉන්දියානු ආධාර යටතේ ඉදිවූ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් සතු විශාලතම ශ්‍රවණාගාරය විවෘත කිරීම අද (09දා) රුහුණු විශ්වවිද්‍යාලයේදී සිදුවිය.
රු.මිලියන 300ක ඉන්දීය ප්‍රදානයක් යටතේ ඉදිකරන ලද රුහුණ විශ්වවිද්‍යාලයීය රබින්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරය ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු සහ රුහුණ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක යන මහත්වරුන් අතින් විවෘත කෙරිණි. රුහුණ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ අනෙකුත් ආරාධිත අමුත්තන් ඇතුළු දහසකට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
2018 ඔක්තෝබර් මස 2 වැනි දින ඇරඹි, ඉන්දියාවේ ජාතියේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමාගේ 150 වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් එතුමාගේ පණිවිඩය සහ ඉගැන්වීම් ඇතුළත් කෙටි වීඩියෝවක්ද මෙම අවස්ථාවේදී ප්‍රදර්ශනය කෙරිණි.
1,500කට අසුන්ගත හැකි මෙම අති නවීන ශ්‍රවණාගාරය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් සතු විශාලතම ශ්‍රවණාගාරය වන අතර, ප්‍රවීණ ශ්‍රී ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා මහතාගේ “නිවර්තන නූතනවාදය” යන සංකල්පයට අනුගත වන පරිදි මෙම ශ්‍රවණාගාරය නිර්මාණය කර තිබේ. මින් වසර 40කට පෙර ඉදිකරන ලද රුහුණ විශ්වවිද්‍යාලයීය ගොඩනැගිලිද ජෙෆ්රි බාවා මහතාගේ මග පෙන්වීම යටතේ නිර්මාණය කර තිබුණි.
රබින්ද්‍රනාත් තාගෝර් ශූරීන් නමින් නම් කරන ලද මෙම ශ්‍රවණාගාරය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සංස්කෘතික බැඳීමේ සංකේතයක් වනු ඇති බවත්, ශ්‍රේෂ්ඨ ඉන්දියානු කවියෙකු සහ නොබෙල් සම්මානලාභියෙකු වන තාගෝර්තුමා විසින් සමස්ත දකුණු ආසියාතික කලාපයට සහ ලෝකයට දායාද කරන ලද සෞන්දර්යාත්මක සහ බුද්ධිමය උරුමයේ සදානුස්මරණීය පුරාවෘත්තය තවදුරටත් ආරක්ෂා කරනු ඇත. එසේම, මෙම ශ්‍රවණාගාරය දකුණු පළාතේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ ජනතාවගේ සංස්කෘතික සහ අධ්‍යයන අවශ්‍යතා සපුරාලීමට උපකාරී වනු ඇත.