විදුලි පාරිභෝගිකයා, සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන නිෂ්පාදකයකු බවට පත් කරන සැලැස්මක් ඉදිරි අයවැයේදී ජනාධිපතිතුමන් ඉදිරිපත් කරනු ඇතැයි විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, නොරොච්චෝලය ප්‍රදේශයේ ඉදි වන සුලං විදුලි බලාගාරය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
මෙරට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 103ක ධාරිතාවක් එක් කිරීමට නියමිත මෙරට විශාලතම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (30) පස්වරුවේ කටයුතු කළහ.
මෙරට විදුලි බල පද්ධතියට මෙගාවොට් 103 ක් එක් කිරීමේ අරමුණින් මන්නාරම ප්‍රදේශයේ මෙම සුලං විදුලි බලාගාරය ඉදි කෙරෙමින් පවතියි.
මෙරට තුළ පුද්ගලික අංශය මගින් සුළං විදුලි නිෂ්පාදනය සිදු කළද, ලංකා විදුලි බල මණ්ඩලයට අයිති වන පළමු සුළං බලාගාරය මන්නරාම සුළං විදුලි බලාගාරයයි. කිලෝමීටර 12.5ක් පුරා සුළං විදුලි බලාගාරයේ සුළං පෙති 33ක් මන්නාරම වෙරළ තීරයේ සවි කිරීමට නියමිත අතර, එයින් 30ක් පමණ මේ වනවිට සවි කර අවසන් වී ඇත. එම 30 මගින් මෙගාවොට් 103.5ක් නිෂ්පාදනය කළ හැකිය.
මෙම සුළං බලාගාරයේ පවතින කුළුණක සවි කර ඇති සුළං තලයක (පෙත්තක) දිග මීටර 62 ක් පමණ වන අතර, එම සියලු කොටස් ත්‍රිකුණාමල වරාය වෙත ගෙනැවිත් ඒවා ඉන්දියාවෙන් ගෙන්වූ විශේෂිත වූ ප්‍රවාහන වාහන වලින් මන්නාරම වෙත ගෙනැවිත් සවි කර ඇත. මෙම එක් කුළුණක් මීටර 25ක් ගැඹුරේ සිට ශක්තිමත් පාදමකින් ඉදි කර ඇත.
අවුරුද්දකට අඩු කාලයකින් ඉදි කළ මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 135ක් පමණ වැය කර ඇති අතර, අනෙකුත් බලාගාර වලින් සිදු වන පාරිසරික හානි කිසිවක් සිදු නොවී රුපියල් 08ක් වැනි ඉතා සුළු මුදලකින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව මන්නාරම සුළං බලාගාරයට හැකියාව පවතියි.
නිරත දිග හා ඊසාන දිග මෝසම යන දෙකේදීම හොදින් සුළං ලැබෙන ප්‍රදේශය මන්නාරම නිසාවෙන් මන්නාරමේ මෙම සුළං බලාගාරය ඉදි කිරීම ආරම්භ කර ඇත.
පක්ෂීන් ගැන අධ්‍යයනයක් කර, රේඩාර් පද්ධතියක් සවි කර ඇති අතර, කුරුළු රංචු මෙරටට පැමිණෙන විට හා පිටවන විට මෙම සුළං පෙති එකවර නවතා දැමීමේ හැකියාව පවතියි.
එහිදී අදහස් දැක්වූ විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා,
ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා පරිමාණ සුළං විදුලි බලාගාරය මන්නාරමේ ඉදි වෙනවා. විශේෂයෙන් සුළං බලය, සූර්ය බලය මෙරට විදුලිය නිෂ්පාදනය සඳහා ප්‍රධාන විභවයන් ලෙස උපයෝගී කර ගැනීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයේ තියෙන මූලික අරමුණක්. ඒ අනුව එතුමා ජාතියට, රටට, රටේ පුරවැසියන්ට,දේශපාලඥයින්ට ඉලක්කයක් දීලා තියෙනවා. අපිටත් ඉලක්කයක් දීලා තියෙනවා 2030 වන විට මෙරට සමස්ත විදුලි ජනනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තිය මත රැදෙන්න ඔ්න කියලා. අපි මේ ඉලක්කය හඹා යමින් සිටිනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ මන්නාරමේ ඉදි වෙන අපේම වූ මේ මහා පරිමාණ සුළං බලාගාරය ඒ ගමනේ හැරවුම් ලක්ෂයක් විදිහට අපි හිතනවා.
1950 දශකයේ තමයි අපේ රටට මහා පරිමාණ ජල විදුලි බලාගාරයක් දායාද වුණේ. මීට අවුරුදු 70කට පෙර, එය විදුලි බල ක්ෂ්‍රේත්‍රයේ පරිවර්තනීය සටහනක් බවට පත් වුණා. 1912 ගෑස් වලින් කොළඹ නගරය ආලෝකමත් වුණේ සුදු අධිරාජ්යයවාදීන්ගෙන් කාලේ, ඊට පස්සේ 1950දී පැරණි ලක්ෂපාන බලාගාරය ඉදි වෙලා ලංකාවේ පළමු ජල විදුලි බලාගාරය රටට දායාද වුණා. ඉන් අවුරුදු 70 කට පස්සේ මේ බලාගාරය ජාතියට තවත් හැරවුම් ලක්ෂයට මගක් පෙන්නලා දෙනවා.අතිශය විශාල හුලං කපොල්ලක අපි ඉන්නේ.මන්නාරමෙන් හමා එන සුළඟ ජාතියට විශාල පුනර්ජීවනය පිළිබඳ පණිවිඩය මතක් කරන්නේ. මෙතනින් මෙගාවොට් 103 ක බලයක් ජාතික පද්ධතියට එකතු කරනවා.ශිෂ්ටාචාරයක් යටපත් කරලා කෝටි සංඛ්‍යාත මුදල් වැය කරලා එදා බලාගාර ඉදි කළා. එහෙම ශිෂ්ටාචාරයක් නැති නොකර, පරිසරයට බිඳකදු හානියක් නොකර පරිසරය හා ආර්ථිකය රැකගෙන මෙම බලාගාරය ඉදි කරලා තියෙනවා. අපේ ආර්ථිකයම දහනය වෙන්නේ ඩීසල් වලින්, ඒ ආර්ථිකයත් රැකගෙන, ජනජීවිත වලට කිසිදු බාධාවක් ඇති නොවන ලෙස මෙම බලාගාරය ඉදි කරලා තියෙනවා.අපි බලාපොරොත්තු වෙනවා ඔක්තොම්බර් මාසයේ අගභාගය වන විට මෙහි පළමු පියවර ජාතියට නිදහස් කරන්නට.
තිසර සමල්