වවුනියාව ආච්චිපුරම් ප්‍රදේශයේදී විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට හා විදුලි අධිකාරිවරයාට පහරදුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අද (05) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතා පැවසීය.
ආච්චිපුරම් ප්‍රදේශයේ විදුලි පරික්ෂාවකට ගිය විදුලිබල මණ්ඩලයේ පිරිසකට ඊයේ (04) දින ගම්මානයේ පිරිසක් විසින් පහරදීම හේතුවෙන් සේවකයින් සිවු දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර පසුව තත්ත්වය සොයා බැලීමට ගිය වවුනියාව විදුලි අධිකාරී දිලිප් කුමාර් නැමැත්තාටද පහරදීම හේතුවෙන් විදුලි අධිකාරී වරයාද රෝහල්ගත කෙරුණි.
විදුලි අධිකාරීවරයාට හිස ප්‍රදේශයට පහර වැදී තුවාල සිදුව තිබෙන අතර තවත් විදුලිබල මණ්ඩල සේවකයින් සිවු දෙනෙකු තුවාල ලබා ඇති අතරම ඉන් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇති බවට වවුනියාව රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේය.
කෙසේ වෙතත් ඊයේ දින අදාළ පහරදීම සම්බන්ධයෙන් පොලීසිය වරදකරුවන් අත්අඩංගුවට නොගන්නේ නම් වවුනියාව මඩු හා මන්නාරම් යන විදුලි උපපොළවල් වැඩ වර්ජනයකට සැරසී සිටි අතර පසුව ඊයේ දිනයේදී හා අද දිනයේදී ක්‍රියාත්මක වූ පොලීසිය පහරදීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ පහරදීමට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් සැඟව සිටින බවටත් සියලු දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතා වැඩිදුරටත් පැවසීය.